බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදීමට ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියට වරදකරු වූ හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට නියම කර ඇති රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල 2027 වසරේ ජූලි මස 6 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය ඊයේ (8) දැනුම් දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ප්‍රකාශ කළේ, අභියාචනාධිකරණය ලබා දී ඇති මෙම නියෝගය පැහැර හැරීමට කටයුතු කළහොත්, අධිකරණ නියෝග කඩකිරීමේ වරද යටතේ විත්තිකාර හිටපු ඇමැතිවරයාට වසර 9ක සිරදඬුවමක් නියම කරන බවයි
මෙහිදී චුදිත ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම වන්දි මුදල නියමිත කාලසීමාව ඇතුළත වාරික වශයෙන් ගෙවා නිම කරන බවට අධිකරණය හමුවේ පොරොන්දු වූ අතර, ඒ අනුව විත්තිකරුව මුදා හැරීමට පියවර ගැනුණි.
නඩුවේ පසුබිම සහ චෝදනා
කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා මොරටුව ප්‍රදේශයේ පදිංචි එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නැමැති ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් 10 වැනිදාය. එම ඉල්ලූ මුදලින් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 5ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරනු ලැබීය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන තිදෙනා නම් කර තිබුණි. කෙසේ වෙතත්, 3 වැනි විත්තිකරු වූ කුමාර් ෆාරුක් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය ප්‍රකාරව විත්තිකරු නොමැතිවම නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කළේය.
නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ප්‍රධාන සාක්ෂිකරු වූ ව්‍යාපාරික එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් ඇතුළු සාක්ෂිකරුවන් 7 දෙනෙකු සාක්ෂි ලබා දුන්හ. විත්ති පාර්ශවය වෙනුවෙන් 2 වැනි විත්තිකාරිය වූ ස්ටෙලා රණතුංග විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකළ අතර, ආර්.පී. නුවන් රාජපක්ෂ යන අය විත්ති පාර්ශවය වෙනුවෙන් සාක්ෂි ලබා දී තිබුණි.
මහාධිකරණ තීන්දුව සහ අභියාචනය
දීර්ඝ නඩු විභාගයකින් පසු 2022 ජූනි 06 වැනිදා කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රසන්න රණතුංග වරදකරු බවට ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 2ක සිරදඬුවමක් නියම වූ අතර එය වසර 5කට අත්හිටුවීමට අධිකරණය පියවර ගත්තේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 100ක වන්දි මුදලක් ගෙවීමටද නියම කෙරුණු අතර, නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ ඔහුගේ බිරිඳ මොරිස් ස්ටෙලා රණතුංග නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීන්දු කළේය.
කොළඹ මහාධිකරණය ලබාදුන් මෙම වරදකරු කිරීමේ නියෝගයට එරෙහිව ප්‍රසන්න රණතුංග විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම පෙත්සම මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂි මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අයගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.
එහිදී විත්ති පාර්ශවය විසින් දඩ හා වන්දි මුදල් ගෙවීම සඳහා අමතර සහන කාලයක් ඉල්ලා සිටි අතර, පැමිණිලි පාර්ශවය ඊට විරෝධය පළ නොකිරීම නිසා වාරික වශයෙන් මුදල් ගෙවීමට අවසර හිමිවිය.
ඒ අනුව, චුදිත ප්‍රසන්න රණතුංග විසින් 2025 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් ලක්ෂ 10 බැගින් අගතියට පත් පාර්ශවය වෙත වන්දි මුදල් ගෙවීමට අභියාචනාධිකරණය ඉදිරියේ එකඟ වී ඇත. හිටපු ඇමැතිවරයාට නියම කර ඇති රුපියල් ලක්ෂ 100ක සමස්ත වන්දි මුදලින් ලක්ෂ 40ක මුදලක් මේ වන විටත් ගෙවා අවසන් කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.
මෙම නඩු වාරයේදී විත්තිකාර ප්‍රසන්න රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා පෙනී සිටියේය. ( චන්දන ජයවීර – දිනමිණ )









