මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදු කිරීමට නියමිතව තිබේ. මේ අතර, මෙම කැරැල්ලෙන් මියගිය රැඳවියන් කවුරුන් දැයි හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට මේ වන විට අවස්ථාව ලබා දී ඇත.
මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප මීගමුව රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර, ඒවා නිරීක්ෂණය කර මියගිය අය හඳුනා ගැනීමට අද දිනයේ අවස්ථාව සලසා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගැටුමෙන් තුවාල ලැබූ බරපතළ තත්ත්වයේ පසු වන රැඳවියන් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
ආරක්ෂක පියවරක් ලෙස, මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 700 කට ආසන්න පිරිසක් බස් රථ මඟින් අඟුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත වහාම මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පසුගිය (06) වැනිදා උදෑසන ආහාර ලබාදීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු වූ අවස්ථාවේදී රැඳවියන් පිරිසක් විසින් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම දරුණු ගැටුම හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ අනෙකුත් නිලධාරීන්ට ද රැඳවියන් පහර දී ඇති අතර, එහිදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ කාර්යාලය, ඔසුසල සහ අවි ගබඩාව ද කඩා බිඳ දමා සියලු දේ ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇත.
මෙම ගැටුම පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අහසට වෙඩි තබා ඇති අතර, පසුව කැරලි මර්දන නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී තුවාල ලැබූවන් මුදාගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.
රැඳවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පලා යාමට උත්සාහ කළ ද, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන බලකාය සහ යුද හමුදාව එක්ව එය වළක්වා තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් ගුවනින් තොරතුරු නිරීක්ෂණය කළ අතර, රැඳවියන් විසින් නිලධාරීන්ගෙන් පැහැරගත් ගිනිඅවිවලින් ඩ්‍රෝන යානාවට ද වෙඩි තබා ඇත.
මේ වනවිට තත්ත්වය මුලුමනින්ම පාලනය වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි. ඊයේ දිනයේ දී ගැටුමින් තුවාල ලැබ ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරීන් හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීමට අමත්‍යවරයා කටයුතු කළේය.







