කපිල කේ හීනටියන –
මැදපෙරදිග කලාපය මේ වන විට ඉතාමත් තීරණාත්මක සහ අවදානම් සහගත කඩඉමකට (moment of reckoning) පැමිණ ඇති බව බීරූට් හි ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ ප්රමුඛ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන රාමි ඛූරි පවසයි. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින සබඳතාවය මේ වන විට දැඩි පරීක්ෂාවකට ලක්වෙමින් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.
ජෝර්දානයේ අම්මාන් අගනුවර සිට අල් ජසීරා පුවත් සේවය වෙත අදහස් දක්වමින් රාමි ඛූරි සඳහන් කර ඇත්තේ ඇමෙරිකාව, ඊශ්‍රායලය මෙන්ම අරාබි පාර්ශවයන් සහ මැදිහත්කරුවන් ද ඇතුළු සියලු දෙනාම මේ වන විට දැඩි පරීක්ෂණයකට මුහුණ දී සිටින බවය.
පසුගිය කාල වකවානුව පුරාම සටන්විරාම ගිවිසුම්වලට එකඟ වීමට හෝ ඒවාට අනුකූලව කටයුතු කිරීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන ඛූරි, මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝගය වඩාත් ප්‍රබල එකක් බව අවධාරණය කරයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය සෘජුවම මේ සඳහා සම්බන්ධ වී සිටීමය. ලෙබනනය සහ හෙස්බොල්ලා සංවිධානය වෙත ඉරානයේ සෘජු සහයෝගය හිමිවීම හේතුවෙන් ඊශ්‍රායලයට මෙන්ම ඇමෙරිකාවට ද නව ආකාරයක දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
“මේ වෙලාවේ පවතින එකම තත්ත්වය ඊශ්‍රායලයේ පාලනයකින් තොර මිලිටරි ක්‍රියාමාර්ග සහ මිනිස් ඝාතන රැල්ල පාලනය කිරීමට ඇමෙරිකාවට හැකියාව ලැබේද යන්නයි. තවදුරටත් ඇමෙරිකාවට එය සිදුකිරීමට නොහැකි වුවහොත්, ඉරානය අනිවාර්යයෙන්ම මීට ප්‍රතිචාර දක්වනු ඇතැයි” රාමි ඛූරි වැඩිදුරටත් අනතුරු අඟවයි.
නෙතන්යාහූ ගැන ට්‍රම්ප්ගේ වැරදි ගණන් බැලීම
රාජ්‍ය තාන්ත්‍රික රාමුවෙන් එපිට සිට ගනුදෙනු මෙහෙයවූ ට්‍රම්ප්ගේ ගණන් බැලීම යළිත් වරක් බිහිසුණු ලෙස වැරදී ඇත්තේ ඊශ්‍රයාලය සමබනධවය.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම දැඩි නොසන්සුන්කාරී වටපිටාව හමුවේ, යුද්ධය ආරම්භයේ දී දැඩි සහයෝගයෙන් කටයුතු කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ අතර මේ වන විට බරපතළ මතභේද සහ විරසකවීම් හටගෙන ඇති බව ප්රමුඛ පෙළේ විදේශීය මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා පනවන සීමාවන් ඉක්මවා යමින්, ඔහුට අභියෝගයක් වන අයුරින් නෙතන්යාහූ හැසිරෙමින් සිටින ආකාරය විදෙස් මාධ්‍ය විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, මැදපෙරදිග කලාපයේ යුද්ධය අවසන් කර, ගෑස් මිල පාලනය කිරීම සඳහා වැදගත් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) නැවත විවෘත කරගැනීමේ අරමුණින් ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ සටන් විරාමයකට සහ රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරමින් සිටියි. එහෙත්, නෙතන්යාහූගේ අරමුණ වී ඇත්තේ ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරන තෙක් යුද්ධය දිගටම පවත්වාගෙන යාමය.
මෙම දේශපාලන ඉලක්කයන් එකිනෙකට පටහැනි වීම හේතුවෙන් මෑතකදී දෙදෙනා අතර පැවැති දුරකථන සංවාදයකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා දැඩි ලෙස කෝපයට පත්ව, නෙතන්යාහූ වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වොෂින්ටන් පෝස්ට් ඇතුළු මාධ්‍ය වාර්තා අනාවරණය කළේය. එහිදී ලෙබනනයේ බීරූට් අගනුවරට ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප් නියෝග කර තිබුණද, ඊට සතියකට පසු නෙතන්යාහූ විසින් නැවත වරක් බීරූට් නුවරට දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට නියෝග කර තිබුණි.
දේශපාලන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ නෙතන්යාහූ මෙලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ රතු ඉරි (Red lines) උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කරන්නේ, තමන් ට්‍රම්ප්ගේ සෑම අණකටම අවනත නොවන ස්වාධීන නායකයෙකු බව තම රටේ ඡන්දදායකයින්ට පෙන්වීම සඳහා සහ ඉදිරි මැතිවරණයේදී තම දේශපාලන ජනප්‍රියත්වය රැකගැනීම සඳහා වන උපක්‍රමයක් ලෙස බවයි. එසේ වුවද, ඇමෙරිකාවේ බලපෑම් නොතකා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායල් කාට්ස් ප්‍රකාශ කර ඇත්තේ ලෙබනනය, සිරියාව සහ ගාසා තීරයේ අත්පත් කරගත් ආරක්ෂිත කලාපවලින් ඊශ්‍රායල හමුදා කිසිසේත් ඉවත් කර නොගන්නා බවයි. මෙම තත්ත්වය ට්‍රම්ප් සහ නෙතන්යාහූ අතර පවතින සබඳතාව දැඩි අර්බුදයකට ලක් කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
දකුණු බෙලනනයට එල්ලවන අඛණ්ඩ ප්‍රහාර
මේ අතර, දකුණු ලෙබනනයේ නබටියේ (Nabatieh) ප්‍රදේශයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද නවතම ෂෙල් වෙඩි ප්‍රහාර මාලාව “නොනවත්වා සිදුවන” සහ “මහා විනාශකාරී” එකක් බව දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය (MSF) පවසයි.
එම සංවිධානය සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, එහි සිටින තම කණ්ඩායම් පවසන පරිදි නබටියේ ප්‍රදේශය මේ වන විට “මරණයේ උගුලක්” (death trap) බවට පත්ව ඇති බවයි. දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර මධ්‍යයේ සිවිල් වැසියන් කොටු වී සිටින බව පෙන්වා දෙන එම සංවිධානය, සිවිල් වැසියන් සහ මුදාගැනීමේ කණ්ඩායම් වහාම ආරක්ෂා කළ යුතු බවත්, සහන සේවා කණ්ඩායම්වලට එම ප්‍රදේශයට ඇතුළු වීම සඳහා කඩිනමින් බාධාවකින් තොර ප්‍රවේශයක් ලබා දිය යුතු බවත් අවධාරණය කරයි.









