රජයට රුපියල් කෝටි 6කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගය
මෙම තීරණාත්මක පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. එම මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් කටයුතු කරති.
නඩුවට පසුබිම් වූ ‘කැරම් බෝඩ් සහ දාම් ලෑලි’ සිද්ධිය
2015 ජනාධිපතිවරණ සමයේදී එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදාහැරීම මෙම නඩුවට පදනම් විය. මේ හරහා රජයට රුපියල් කෝටි 6කට ආසන්න අලාභයක් සිදුකළ බවට පසුගිය යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
අදාළ නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් වරදකරුවන් කරමින් මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතා වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී.







