දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් විසින් නිර්මාණය කරන ලද වෙසක් කලාපයට ඊයේ රාත්‍රියේ ( ජූනි 1 වැනිදා) ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් වෙසක් සැරසිලි සියල්ලටම දැඩි ලෙස හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් විසින් කෝපායී පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිංහල සිසුන් පෙන්වා දෙන්නේ මෙම සාපරාධී ක්‍රියාව පසුපස විශ්වවිද්‍යාලය තුළ ජාතිවාදය වපුරන පිරිස් සිටින බවට විශාල සැකයක් පවතින බවය.
විශ්වවිද්‍යාලය තුළ සංවිධානය කෙරෙන දෙමළ සිසුන්ට අදාළ සියලුම පොදු උත්සව සහ කටයුතුවලදී සිංහල සිසුන් ඊට පූර්ණ සහයෝගය ලබා දෙමින් කටයුතු කරන පසුබිමක, තමන් විසින් ආගමික සහයෝගීතාවයෙන් යුතුව නිර්මාණය කළ වෙසක් කලාපයට මෙලෙස ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සම්බන්ධයෙන් සිසුහු මහත්සේ කම්පාවට පත්ව සිටිති.
වෙසක් කලාපයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී එල්ල වූ ගල් ප්‍රහාර හේතුවෙන් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක වීදුරු කිහිපයකටද හානි සිදුව ඇති බව වාර්තා වේ.
මේ අතර යාපනයේ වැසියෙකු අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය මැයි 18 වැනිදා යාපනය විශ්වවිද්‍යාලය තුළ පැවැති යුද්ධයෙන් මියගිය පිරිස් සැමරීමේ උත්සව සඳහා සිංහල සිසුන් සහය නොදැක්වීම හේතුවෙන්, ඊට පළිගැනීමක් වශයෙන් මෙම විනාශය සිදුකරන්නට ඇති බවට සැක කරන බවයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලිසිය මේ වන විටත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සක්‍රියව ක්‍රියාත්මක වේ.







