2027 අයවැය යෝජනා මඟින් මෙරටට ද්විතීයික දේපළ බද්දක් (Secondary Property Tax) හඳුන්වා දීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා රජය අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
පවත්නා නිවසට හෝ ප්‍රධාන දේපළට අමතරව පවතින අනෙකුත් නේවාසික දේපළ ඉලක්ක කර ගනිමින් මෙම බද්ද ඉදිරි අයවැයෙන් හඳුන්වා දිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත. එහෙත් රජයේ ස්ථාවරය වී ඇත්තේ වෙනත් ආදායම් මාර්ග පවතින බැවින් සහ දැනටමත් නියමිත ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් එවැනි බද්දක් හඳුන්වා දීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.
දැනට ක්‍රියාත්මක අයවැය උපදේශන සාකච්ඡා පිළිබඳව දැනුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, 2023 වසරේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ පුළුල් ආදායම් බලමුලු ගැන්වීමේ පියවරක් ලෙස පුද්ගලයන් සතු දෙවන සහ ඊට වැඩි අනෙකුත් නිවාස හා දේපළ මත බදු පැනවීමේ අදහස මූල්‍ය අරමුදල විසින් මතු කර ඇති බවයි.
කෙසේ වෙතත්, 2027 අයවැය සඳහා යෝජනා කිරීමට නියමිත ආදායම් උත්පාදන පියවරයන් නියමිත ඉලක්ක සපුරා ගැනීමට ප්‍රමාණවත් බැවින් මෙම නව බද්ද පැනවීමට අවශ්‍යතාවක් නොවන බව රජය මූල්‍ය අරමුදල වෙත දැනුම් දී තිබේ. මීට අමතරව, මෙවැනි බද්දක් පැනවීමට පෙර රට තුළ පවතින දේපළවල අයිතිය පිළිබඳ නිසි දත්ත පද්ධතියක් (Database) සකස් කළ යුතු බවත්, ඒ සඳහා කාලයක් ගතවන බවත් රජය පෙන්වා දී ඇත.
කෙසේ වුවද, 2027 අයවැය යෝජනාවලට මෙය ඇතුළත් නොකළද, ඉදිරියේදීත් මෙම බද්ද ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම රජයට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ වැඩි බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුල් සැලසුම වී තිබුණේ 2025 වසර වන විට රට පුරා සාම්ප්‍රදායික දේපළ බද්දක් ක්‍රියාත්මක කිරීමයි. එහෙත් 2024 පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි තාක්ෂණික දූත පිරිසක් පෙන්වා දුන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව දේපළ බදු ආදායම් පළාත් සභාවලට හිමිවන බැවින් මධ්‍යම රජයට සෘජුවම බදු අය කරගත නොහැකි බවයි. එමෙන්ම තක්සේරු දෙපාර්තමේන්තුව සතුව රටේ පවතින මිලියන පහකට ආසන්න දේපළ පිළිබඳ යාවත්කාලීන දත්ත නොමැති වීමද ඊට බාධාවක් විය.
මීට පිළියමක් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලුව මඟහරිමින් පුද්ගලයෙකුගේ නිවසේ ඇස්තමේන්තුගත කුලී වටිනාකම මත බද්දක් අය කරන ‘දේශීය ආරෝපිත කුලී ආදායම් බද්ද’ (Imputed Rental Income Tax) 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මූල්‍ය අරමුදල යෝජනා කළේය. එහෙත් 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසු බලයට පත් වත්මන් රජය එම ක්‍රමය ප්‍රායෝගික නොවන බව තීරණය කිරීම නිසා එය අතහැර දමන ලදී.









