මැද පෙරදිග කලාපයේ, විශේෂයෙන්ම 2026 පෙබරවාරි 28 වන දිනෙන් පසුව උද්ගත වූ යුදමය හා නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සලකා බලා, ශ්‍රී ලංකාව තුළ බලශක්ති කළමනාකරණය විධිමත් කිරීමට රජය තීරණය කර ඇත. මේ යටතේ ජාතික ඉන්ධන තොග මත ඇති වන පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින්, රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා දුරස්ථ සේවා ක්‍රමවේදය (Remote Work) හෙවත් නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදය හැකිතාක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.
මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් යුත්, රාජ්‍ය සේවය ක්රමාණුකූලව පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තීරණයකට අනුවය. ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ඩිජිටල් තාක්ෂණයන් භාවිත කරමින් රාජකාරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ නිර්දේශ ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නියම කර ඇත.
ඩිජිටල් තාක්ෂණ භාවිතය හා නීතිමය වලංගුතාවය – රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මේ සම්බන්ධයෙන් මගපෙන්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අතුරු මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සම්පාදනය කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව https://mode.gov.lk/docs/guidelines යන සබැඳියෙන් ඕනෑම නිලධාරියෙකුට බාගත කරගත හැකිය.
මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව සැකසීම සහ සංසරණය කිරීම නීත්‍යානුකූල බව රජය අවධාරණය කිරීමයි. ඒ අනුව:
-
විධිමත්ව පරිලෝකනය (Scan) කරන ලද අත්සන් භාවිතය.
-
ඩිජිටල් අත්සන් (Digital Signatures) භාවිතය.
-
රජයේ නිල ඉ-මේල් (Official Email) පද්ධතිය හරහා හුවමාරු වන තොරතුරු සහ අනුමැතීන්. යන සියල්ල වලංගු රාජ්‍ය ලේඛන ලෙස නීත්‍යානුකූලව පිළිගැනීමට තීරණය කර ඇත.
සන්නිවේදන මෙවලම් සහ ආරක්ෂාව – මාර්ගගත රැස්වීම් සහ සාකච්ඡා සඳහා මීට පෙර කොවිඩ්-19 සමයේදී හඳුන්වා දුන් https://meet.gov.lk වීඩියෝ සම්මන්ත්රණ වේදිකාව ප්‍රාථමික සන්නිවේදන මෙවලම ලෙස භාවිත කළ යුතු බවට නිර්දේශ කර ඇත. එසේම අවශ්‍යතාවය පරිදි සෙසු වාණිජ වේදිකා (Zoom/Teams වැනි) ද සීමිත කාලසීමාවන් යටතේ භාවිත කළ හැකිය.
වත්මන් රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මට සමගාමීව, රාජ්‍ය අංශයේ සේවා ප්‍රශස්තකරණය සඳහා නිලධාරීන්ගේ ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකනු ලබයි. විශේෂයෙන්ම රාජකාරි තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව (Data Security) දැඩි ලෙස සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
චක්‍රලේඛය මගින් නිල දැනුම්දීම – මෙම නව මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 අප්‍රේල් 23 දිනැතිව අංක 02/2026 දරන චක්‍රලේඛය නිකුත් කර ඇත. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇත්තේ සියලුම රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳව වහාම දැනුවත් කර ක්‍රියාවෙහි යොදවන ලෙසයි.







