අක්කරෙයි පත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී අයි.එම්. ජවාහීර් වහාම ඉවත් කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන වැඩ වර්ජනය අසාධාරණ බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්වීම් ලද නිලධාරියෙක් සම්බන්ධව තීරණ ගත යුත්තේ විධිමත් පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු මිස එල්ලවන බලපෑම් මත අමාත්‍යාංශ නිලධාරීන් විසින් නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා විසින් 27-2 යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැහැදිලි කළේ මේ වනවිට අක්කරෙයිපත්තු මූලික රොහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධව විමර්ශන දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔහු සම්බන්ධව තීන්දුවක් ගත හැක්කේ එම විමර්ශනවල නිර්දේශ මත පමණක් බවය.
එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයා මේ සම්බන්ධව ලබා දුන් දීර්ඝ පිළිතුර මෙසේය.
අක්කරෙයි පත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී අයි.එම්. ජවාහීර් වෙත පත්වීම් දෙනු ලැබුවේ 2023.06.03 වැනිදා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත ලබා දුන් පත්වීමක්. මෙම වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි ගැන පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. විධිමත් විනය පරීක්ෂණ සිදුකර තිබෙනවා. අවවාද කර ගොනු අවසන් කර තිබෙනවා සමහර ඒවා.
මූලික විමර්ශන 03ක් සිදුකරලා තියනවා. පරීක්ෂණ දෙකක මූලික වාර්තා සෞඛ්‍ය ලේකම් වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියනවා. එක් මූලික විමර්ශනයක් මේ වනවිටත් පැවැත්වෙනවා.
මේ සමස්ථ වැඩ වර්ජනයට හේතු වෙලා තියෙන්නේ මේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව යම් යම් පාර්ශව විසින් විටින් විට එල්ල කරන චෝදනා සහ පැමිණිලි. 2021 අයි.එම්. ජවාහාරී අක්කරෙයි පත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස රාජකාරි කරමින් සිටිය දී එම රෝහලේ සේවය කළ වෛද්‍ය එම්.එම්. තාසීම්ට එරෙහිව සේවය හැර යෑමේ නිවේදනය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් 2021.12.27 දින නිදහසට කරුණු විමසලා තිබෙනවා. ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා නියෝගය දී තිබෙන්නේ 2022.07.02. අවවාද කරලා 2022.07.12 එම ගොනුව නිම කරලා තිබෙනවා.
ඊලඟ පැමිණිල්ල අයි.එම්. ජවාහීර් වෛද්‍ය අධිකාරී ලෙස අක්කරෙයිපත්තුව මූලික රෝහලේ රාජකාරි සිදුකරමින් සිටිය දී එම රෝහලේ සේවයකළ වෛද්‍ය එස්.එල්.සැමෝන්ට 2018.09.15 දින සේවයට වාර්තා කර තිබියදී එදින ඔහුගේ වැටුප් රහිත දිනයක් සේ සලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023.11.17 දිනැතිව නිදහසට කරුණු විමසලා තියනවා. සිදුවීම වෙලා අවුරුදු පහකට පසුවයි නිදහසට කරුණු අහලා තිබෙන්නේ. ඒකත් විමර්ශනය කරලා 2024.11.21 දින අවවාද කරලා ගොනුව නිම කරලා තියෙන්නේ.
ඊඟට ඔහු වෛද්‍ය අධිකාරී ලෙස අක්කරෙයිපත්තුව මූලික රොහලේ රාජකාරි කරමින් සිටියදි අලුත් රාජකාරි දිනපොත් ලබාගැනීමෙන් පසු මීට පෙර භාවිතා කළ අංක 1 සහ 2 දරන දින සටහන් රාජකාරි දිනපොත් විෂය භාර සංවර්ධන නිලධාරී එම්.අයි.එම්. ෂිහාද් වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධව 2022.09.02 දිනැතිව නිදහට කරුණු විමසලා තියනවා. ඒක 2023.01.04 දිනැතිව අවවාද කර ගොනුව නිම කරලා තියනවා. මේවා තවමයි දැනට අවසන් කරලා තියන ඒවා.
මීට අමතරව අලුත් විමර්ශන තුනක් ක්‍රියාත්මක වෙනවා. අක්කරෙයිපත්තුව මූලක රෝහලේ ව්‍යාපෘතිවල මූල්‍ය වංචාවක් සහ අක්‍රමිකතාවයක් සිදුවූ බවට සඳහන් කරමින් සමහර පාර්ශව පැමිණිලි කරලා තියනවා. මේ සම්බන්ධව මූලික විමර්ශනයක් සිදුකර සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතියට යොමු කරලා තියනවා.
අක්කරෙයිපත්තුව මූලික රෝහලේ දී තම පියාට ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ ප්‍රමාදයක් සිදුවු බවටත් ඒ සඳහා රෝහල් වෛද්‍ය අධිකාරීගේ උපදෙස් හේතු වූ බවටත් වෛද්‍ය එම්.ඒ.සුහයිල් අහමඩ් විසින් සිදුකළ පැමිණිල්ල යටතේ මූලික විමර්ශනයක් සිදුකර සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතියට යොමු කර තිබෙනවා.
ඊලඟ පැමිණිල්ල තිබෙන්නේ අක්කරෙයිපත්තුව මූලික රෝහලේ කාර්ය මණ්ඩලය 2025.05.21 දින මාධ්‍ය සාකච්ඡාවක් නීති විරෝධීව පවත්වා වෛද්‍ය එම්.ඒ. සුහයිල් අහමඩ් වෙත අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ලකළ බව හා ඊට රෝහල් පරිශ්‍රය යොදා ගැනීම නීති විරෝධී බව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියනවා. ඒකත් මූලික විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලික ඉල්ලීම දැනට අක්කරෙයිපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස කටයුතු කරන වෛද්‍ය අයි.එම්.ජවාහීර් තනතුරෙන් ඉවත් කරන්න කියන එක.
අපි මේ සමබන්ධව විමර්ශන කටයුතු කරගෙන යනවා. මේ පත්වීම ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව. විමර්ශනවලින් ඔහු වැරදිකරුවෙක් බවට පත් වුවහොත් අමාත්‍යාංශයට තීරණ ගන්න පුලුවන්. නමුත් එතෙක් විමර්ශන පවතින කාලය තුළ දී අමාත්‍යාංශයට ඔහු සම්බන්ධව තීරණයක් ගන්න හැකියාවක් නෑ. මොකද ඊට පස්සේ අමාත්‍යාංශයේ තීන්දු ගත්ත නිලධාරීන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා.
අපිට කියන්න තියෙන්නේ මේ සම්බන්ධව කටයුතු කරමින් ඉන්නවා. සමහර විමර්ශන ගොනු වහලා දාල තියනවා. ඒ මීට අවුරුදු ගණනාවකට කලින්. නැගෙනහිර පළාතේ ජනතාව පීඩාවට පත් කරමින් මේ වෛද්‍ය අධිකාරීවරයා ඉවත් කිරීමට කරන වැඩ වර්ජනය අසාධාරණයි.
බලය ඇති කණ්ඩායම් රෝගීන් බිල්ලට තබමින් එක් පුද්ගලයෙක් ඉවත් කරගනීම සඳහා මෙවැනි වැඩ වර්ජන නොකළ යුතු බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. තෙලිප්පලේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.







