සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගැමියෙකුගේ අධ්‍යාත්මය සහිතව හැදී වැඩුන මට සංඝ සමාජයේ සිදුවන ඇතැම් සිදුවීම් මහා බලවත් වේදනාවක්…” ජනපති රාජ්‍ය වෙසක් උත්සවයේ දී කියයි!

by editor
මැයි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මහ මග වඩින මහා සංඝරත්නයට  බොරළු පාරේ දණ ගසා වන්දනා කර ගෞරව කළ  ගැමියෙකුගේ අධ්‍යාත්මයක්  සහිතව හැදී වැඩුන තමන් මේ වනවිට සංඝ සමාජය තුළ සිදුවෙමින් ඇති ඇතැම් සිදුවීම්වලින් වේදනා විඳින බවත් මහා සංඝරත්නයේ විනය පවත්වා ගැනීම සඳහා මහා නායක හිමිපාණන්වහන්සේලා විසින් අපේක්ෂා කළ  නෛතික රාමුව සකස් කර උන්වහන්සේලාට අවශ්‍ය බලය ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇමතූ ජනාධිපති අනුර කුමාර දසානායක මෙසේ ද පැවසුවේය.

“අද අපි සහභාගී වී සිටින්නේ ලංකාවේ පැවැත්වෙන ඓතිහාසික වූත් වැදගත් වූත් අවස්ථාවකටයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ ඉතාමත් ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ නමක්. උන්වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය මේ වෙසක් පසළොස්වක පුන් පොහොය දිනයට යෙදී තිබෙනවා. උන්වහන්සේගේ තෙමඟුල දීර්ඝ කාලයක් පුරා අප විසින් සමරනු ලබනවා.

ශත වර්ෂ ගණනාවක් එම ධර්මය නොනැසී රඳා පැවතුණා. බුදු දහම ලංකාවට ආගමනය සිදු වුණේ වසර 2334කට පෙරයි. වසර 2334ක චිරාත් කාලයක් එම බුදු දහම නොනැසී, එම හරය ආරක්ෂා කර ගනිමින් පැවැතීමේ රහස වන්නේ උන්වහන්සේගේ දහම හේතුඵල වාදය මත පදනම් වී තිබීම සහ යථාර්ථවාදී දහමක් වීම නිසයි. උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දහම බුද්ධත්වයට පත්ව එළැඹි පළමු ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේදීම 60 නමකට දේශනා කළා.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

එහිදී උන්වහන්සේ අනුදැන වදාළේ මෙම ධර්මය බහුජන හිතසුව පිණිස දේශනා කරන්න කියායි. එනම් මේ දහම රඳා පැවැතීමේ ප්‍රධාන සාධකය දහමේ තිබෙන හේතුඵල වාදයයි. දෙවන සාධකය වන්නේ ධර්මධර, විනයධර අපේ හාමුදුරුවන් වහන්සේලායි. දීර්ඝ කාලයක් මේ දහම රඳා පැවතුණේ මුඛ පරම්පරාවෙන්. ධර්මය ග්‍රන්ථාරූඪ කරන තෙක් ඇතැම් විට ස්වාමීන් වහන්සේ නමකට මේ සියල්ල එකට මතක තබා ගැනීම දුෂ්කර ක්‍රියාවක් වන්නට ඇති. ඒ නිසා එක් එක් නිකායන්ට අනුව බෙදා මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ධර්මධර, විනයධර මහා සංඝරත්නය විශාල කැපවීමක් සිදු කළා.

එහිදී දීඝ නිකාය දීඝ භාණකවරුන් විසින්ද, මජ්‌ඣිම නිකාය මජ්‌ඣිම භාණකවරුන් විසින්ද, සංයුත්ත නිකාය සංයුත්ත භාණකරුවන් විසින්ද මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන එනු ලැබුවා. මෙලෙස දහම සහ එහි හරය සහ පදනම නොනැසි ශත වර්ෂ ගණනාවක් අපේ මහා සංඝරත්නය මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන ආවා. අනතුරුව වළගම්බා රජ සමයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ලිඛිතව ආරක්ෂා කළා. අද පන්සලේ බණ පොත් වහන්සේ වැඩ සිටිනවා. එහෙත් පන්සලේ වැඩ සිටින බණ පොත් වහන්සේගේ හරය අපේ බෞද්ධ ජනතාව වෙත ගෙන යන්නේ කවුද? අපේ හාමුදුරුවන් වහන්සේ ධර්මය අධ්‍යයනය කර එම දැනුම එක් කරගෙන ජනතාවට දේශනා කරනවා.

ධර්මාධිකරණයක් සහ බලතල ලබාදීම

1931 විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කරන්න කියා ඉල්ලීමක් කළා. ඒ වගේම නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. මේ පිළිබඳ අපේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද ලිඛිතවද මා වෙත ඉල්ලීමක් කර තිබුණා. අපේ අමාත්‍යවරයා ඒ පිළිබඳ සංකල්ප පත්‍රයක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය ඊට එකඟතාව පළ කළා. ඒ අනුව සංශෝධනයක් සකස් කළා.

නීතිපති දෙපාර්තමේන්තුව ඊට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර පසුගියදා අපේ මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී මහානායක ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට මම කටයුතු සංවිධානය කර දුන්නා. එම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට එළැඹීමට හැකි වූ බව ගෞරවනීය ස්වාමින් වහන්සේලා මා වෙත දැනුම් දුන්නා. එම නිසා අපි ඉතා ඉක්මනින් ඔබවහන්සේලාට සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය කර දෙනවා.

මේ දහම විශ්වීයයි

මේ දහම වර්තමානයේ ජීවත්වන අපිට, එසේ නොමැතිව සිවුරක් දරාගෙන වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට පමණක් හිමි නැහැ. මේ දහම අපි හැම කෙනාටම තමන්ගේ විමුක්තිය වෙනුවෙන් හිතසුව පිණිස වෙනුවෙන් දේශනා කළ දහමක්. එසේ නම් අපි හැම දෙනාටම මේ දහමේ හරය විනාශයට පත් නොවී ආරක්ෂා කර ගැනීමට වගකීමක් තිබෙනවා.

අද ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථා අපි දැක තිබෙනවා. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම්. හැබැයි, ඒ ක්‍රියාමාර්ග සඳහා අපේ ධර්මධර, විනයධර ගෞරවනීය මහා සංඝරත්නයේ සහාය අවශ්‍යයි. සමස්ත ලෝකවාසීන්ගේ විමුක්තිය උදෙසා දේශනා කරන ලද දහම ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම දෙනාම එක්ව වැඩ කරමු කියා මම ආරාධනා කරනවා. මෙම ක්‍රියාමාර්ග අපේ ධර්මයත්, බෞද්ධ ජනතාවත්, අනාගතයත් වෙනුවෙන් ගන්නා ලද බෞද්ධමය තීන්දු බවට පත් විය යුතුයි.

ආගමික ප්‍රබෝධය ආර්ථික ප්‍රබෝධයට සම්බන්ධයි…

අපේ ඉතිහාසය දෙස බැලූ විට අපි ආගමික වශයෙන් පරිහානියට ලක් වෙනවා නම් ඒ හා සමාන ලෙසම ආර්ථික වශයෙන් පරිහානියට පත්ව තිබෙනවා. අපි ආගමික වශයෙන් ප්‍රබෝධයක් අත්පත් කර ගන්නා සෑම යුගයකම අපි ආර්ථික වශයෙන් ප්‍රබෝධමත් වී සිටියා. අපේ ආණ්ඩුවේ ප්‍රයත්නය වන්නේ එම ආර්ථික සහ ආගමික ප්‍රබෝධය උදා කර ගැනීමයි. දුටුගැමුණු රජ සමය, වසභ රජ සමය, මහසෙන් රජ සමය, පොළොන්නරුව පළමු පරාක්‍රමබාහු රජ සමය ගත්විට ආගමික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් සමෘද්ධිමත් යුගයන් වුණා.

අපට ආර්ථිකමය ප්‍රබෝධය අත්පත් කර ගත හැකි වන්නේ සමාජය දැහැමි, අනෙකා කෙරෙහි පහන් සිතින් බලන්න සූදානම් වුණු, වෛරය, ක්‍රෝධය, කුහකත්වය පිටුදකින දැහැමි සමාජයක් තුළයි. එම දැහැමි සමාජයයි, ආර්ථික ප්‍රබෝධයයි එකට ගමන් කළ යුතුයි. විශේෂයෙන්ම නොවැම්බර් මස ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඕනෑම මොහොතක ආගමික සිද්ධස්ථානයන් දුෂ්කරතාවකට, ව්‍යසනයකට පත් වු විට රජයක් විදිහට ඒ සදහා මැදිහත් වීමට අපි සූදානම්.

මේ විශිෂ්ට දහම බිඳ වැටීමත් විනයධර භික්ෂූන්ගේ බිඳ වැටීමත් අපට වේදනාවක්!

විශේෂයෙන්ම මේ බුදුදහම සහ අපේ සමාජය අතර අත්නොහැරිය නොහැකි ‌ෙඑතිහාසික බැඳීමක් තිබෙනවා. මීට වසර 2334කට පෙර බුදු දහම මෙරටට ආගමනයට පෙර ලංකාවේ කවර සමාජයක්ද තිබුණේ? අන්න ඒ සමාජය සහ සංස්කෘතියකට  උරුමකම් කියන සමාජයක් බවට පරිවර්තනය කිරීමේ මහා බලය තිබෙන්නේ මේ දහම තුළයි, මේ දහම අප රට තුළ ව්‍යාප්ත වීම තුළයි. එසෙස් නොවන්නට අප කවර සංස්කෘතියකට හිමිකම් කියන ජාතියක්ද කියා සිතාගත නොහැකියි. අපි අනෙකාගේ දුකේදි කම්පනයට පත්වන ජාතියක්. විපතකදී කිසි කෙනෙක් ජාති, කුලමල බලන්නේ නැහැ. අපි සෑම කෙනාටම කම්පනයක් ඇති වෙනවා.

බුදුදහම සහ අපේ සමාජය ගොඩනැඟීම  පිළිබද ‌ෙඑතිහාසිය උරුමයක්, කතාවක් තිබෙනවා.  බුදුදහම ඉවත් කොට, ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැංවීම පිළිබදව සිතා බලන්නවත් හැකියාවක් නැහැ. අපට ලැබුණේ දහමක් පමණක්ද?  ඒ දහම සමඟ ගොඩනැගුණු විධිමත් අධ්‍යාපනයක් අපට ලැබුණා. අදත් අප රටේ ඉතාමත් ඉහළ ප්‍රශස්ත අධ්‍යාපන රටාවක් තිබෙනවා. ඉපදෙන දරුවන්ගෙන් සියයට 99කට වඩා පිරිසක් පාසල් යනවා. එය ඉතාමත් ප්‍රශස්ත අගයක්. අපි සාක්ෂරතාවයෙන් ඉදිරියෙන් සිටින රටක්.

අපේ රටේ අධ්‍යාපනයේ මුල් පියවර තැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයයි. නොසැලී තිබෙන මහා පිරිවෙන්, මහා පන්සල් කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනයක් ගොඩනැගුණා. අපට මහා හෙළ වෙදකමක් ලැබුණා. ඉතිහාසයේ අපිට වෙද හාමුදුරුවරු හිටියා. ඉතිහාස කතාවල මහා විස්මිත වෙද හාමුදුරුවරු හමු වෙනවා. මහා හෙළ වෙදකමේ නිර්මාපකයාත් පන්සල, මහා සංඝරත්නය සහ මේ දහමයි.

මහා ගෘහ නිර්මාණ ශිල්පීන් විශාල නිර්මාණ කළේ මේ දහම සමඟ මුසු වෙලයි. අදත් ‌ෙඑතිහාසික, විස්මිත නිර්මාණවලට හිමිකම් කියන, ඒ බුදුදහම ආශ්‍රිතව ගොඩනැගුණු ඉංජිනේරු තාක්ෂණයක් අපට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකික ජාතිය පෞඪ, සංස්කෘතිකමය , නිරහංකාර, ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් බවට පත්වීමට මේ දහම විශාල පිටිවහලක් වුණා. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ පදනම මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනය බව මා විශ්වාස කරනවා. මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි සෑම කෙනාටම වේදනාවක්. මේ විකෘතිමය දහම තුළ විනයධර භික්ෂූන් වහන්සේගේ බිද වැටීම අපට වේදනාවක් ගෙන දෙන්නක්.

මත්කුඩු සම්බන්ධයෙන් අපේ හිමිවරුන් 21 නමක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මා ත්‍රෛනිකායික මහා නාහිමිපාණන් වහන්සේ සමඟ සාකච්ඡවක් පැවැත් වූවා. උන්වහන්සේ ඉදිරිපත් කළේ පුළුවන් නම් අධිකරණයට ගෙන යෑමට පෙර උපැවිදි කරන්න කියලයි. අපි කොහොමද හාමුදුරුවන් වහන්සේලා මාංචු සමඟ එකපෙළට අධිකරණයට ගෙන යන්නේ?  ඇත්තටම ත්‍රෛනිකායේ නියෝජිත මහානාහිමිපාණන් වහන්සේලා එයට එකඟතාව පළ කළා. පසුව උන්වහන්සේලා නිදොස් වෙනවා නම් යළි පැවිදි වීමේ අධිෂ්ඨානයකට ආවා. එහෙත් නීති උපදෙස් තිබෙන්නේ දහම මත නෙමෙයි. ඒ නිසා ඒක සිදු වුණේ නැහැ.

මේ දහම මත පදනම් වන ඕනෑම නරක පන්නයේ සිදුවීමක් අපට වේදනාවක් ගෙන දෙනවා. අපි පන්සල සමඟ ගොඩනැගුණු ජාතියක්. අපේ ගමේ තිබූ ප්‍රධාන උත්සවය පොසොන් උත්සවයයි.  අපට බෞද්ධාගම කියා දුන්නු හාමුදුරුවන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරුවන්. උන්වහන්සේලා සවස ස්නානය කිරම සඳහා පාරදිගේ වැවට වඩින විට අපි බොරළු පාරේ දණ ගසා වැඳපු මිනිස්සු. අපි ඒ ආධ්‍යාත්මයත් සමග ගොඩනැගුණු මිනිස්සු. අපට දහම, හොද නරක, අනාගතය ගැන කියා දුන්නේ හාමුදුරුවන් වහන්සේ. අපේ ගමක ආරවුලක් විසඳන්න ආවේත් හාමුදුරුවන් වහන්සේ. ඒ ආශ්‍රිතව ආධ්‍යාත්මයක් සහිත අපිට මේ සිදුවීම්වලින් වේදනාවක් ගෙනැත් දෙනවා.

ඒ නිසා, ඔබ වහන්සේලාට, ඔබ වහන්සේලාගේ සංස්ථාවල විනය පවත්වා ගෙන යෑම සදහා අවශ්‍ය බලතල ලබා දිය යුතුයි. මා පමණක් නොව, මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සම්බන්ධව සිත් තැවුළෙන් සිටින බව මා දන්නවා.

ඒ සිදුවීම් මත පදනම්ව මේ විමුක්ති දහමට එරෙහිව යමක් තිබෙනවා නම් ඒ මත පදනම්ව යම් ගොඩනැගීමක් තිබෙනවා. ඒ නිසා යළි අපි අපි ගැනම සිතා බැලිය යුතු යුගය එළැඹ තිබෙනවා. එසේ නොමැති නම් වසර 2615ක චිරාත් කාලයක් ආරක්ෂා කරන ලද දහම අපි අප ඉදිරිපිට විනාශ වීමට ඉඩ දිය යුතුද? ජීවිත පරදුවට තබා උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සදහා ඉතිහාසයේ වෙහෙස වූ අපේ සංඝයා වහන්සේලා සිටිනවා. අපට උන්වහන්සේලා සිහියට නැගිය යුතු නැතිද?  අපේ රජවරු සැඟ වී ජීවත් වෙලා තිබෙනවා. එසේ රැකගත් දහමක් අපේ ඇස් ඉදිරියට විකෘතිභාවයට පත් කරනවා නම්, අවලාද, අසත්‍ය චෝදනාවන්ට අභිමුඛ වී තිබෙනවා නම් අපි කුමක්ද කළ යුත්තේ? මේ වෙසක් පුන් පොහොය දිනයේදී අපි අපි ගැනම මෙනෙහි කරගත යුතුයි.

සමස්ථ ආගමික ප්‍රබෝධයක් රට තුළ ඇති විය යුතුයි

අපේ බෞද්ධ ප්‍රජාව, පියතුමන්ලා, මවුලවිතුමන්ලා, කුරුක්කල්තුමන්ලා අපි සෑම දෙනාම දරුවන්ගේ, තරුණ පරම්පරාවේ ආරක්ෂාව වෙනුවෙන් යළි අප රටේ ආගමේ ප්‍රබෝධයක් වෙනුවෙන් වෙහෙස විය යුතුයි. දහමක්, විනයක්, සමාජයක් බිඳවැටුණු තැනක අපරාධ, අපචාර, සමාජ අර්බුද නිර්මාණය වීම වළක්වන්න බැහැ. මේ නරක තත්ත්වයෙන් රට මුදා ගැනීමේ කාර්යභාරයක් අපි සියලුම දෙනාටම පැවරුණක්.”

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් වහන්සේ රාජ්‍ය වෙසක් මහෝත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කළහ. මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ඩංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනා සිදු කළහ. මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හක්මන ඥානවිමල ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිදු කළහ.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ්, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස්, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු යන අය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝද, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරුද එක්ව සිටියහ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “දක්ෂිණා ප්‍රභා” නමින් “අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ ජාතික වෙසක් සතියට සමගාමීව අද සිට ජුනි 01 දක්වා මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ ආණ්ඩුව පන්නා ගන්න සිහින දකින්නේ හොරුන්, වංචා කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මිසක් ජනතාව  නොවෙයි… ජනපති කියයි!

Next Post

යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.