19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දුන් මුල්ම තරගයේ දී මැලේසියා කණ්ඩායම පරදවා ලකුණු 139ක විශිෂ්ට ජයග්රහණයක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළේය.
කාසියේ වාසිය දිනුවේ මැලේසියානු කණ්ඩායමය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ. පන්දුවට පහරදීමට පැමිණි ශ්රි ලංකා ක්රිඩිකාවෝ විශිෂ්ට පිතිකරණයක නිරතවූහ. ආරම්භක පිතිකාරිණිය සන්ජනා කාවින්දි ලකුණු 30ක් ලැබුවාය. ඒ පන්දු 13ක දීය. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය. දහමි සෙනෙත්මා විශිෂ්ට පිතිකරණයක නියැලෙමින් ලකුණු 55ක් ලැබුවාය. ඒ පන්දු 52ක දී හතරේ පහර 5ක් සමගිනි. හිරුනි හන්සිකා ලකුණු 28ක් ලැබුවාය. ඒ හතරේ පහර 4ක් සමග පන්දු 21කිනි. පන්දු ඕවර 20 අවසානයේ දී ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 06කට ලකුණු 162ක් ලබා තිබිණි.

පන්දු යැවීමේ දී සිටි නස්වා කඩුළු 02ක් ද සුබිකා මනිවන්නන්, නූර් දානියා, මාර්සියා අබ්දුල්ලා, නූර් ඩැනියෙල් කඩුල්ල බැගින් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පැමිණි මැලේසියා කණ්ඩායම ලකුණු 23කට සියල්ලෝ දැවී ගියහ. ලකුණු නොලබා දැවී ගිය ක්රීඩිකාවන් ගණන 05කි. කණ්ඩායමේ කිසිම ක්රීඩිකාවක් ලකුණු 10 ඉක්මවූයේ නැත. ආරම්භක පිතිකාරිනිය වූ නූර් ආලියා වැඩිම ලකුණු ගණන ලෙස ලකුණු 07ක් ලැබුවාය.
පන්දු යැවීමේ දී විශිෂ්ටම පන්දු යැවීම වාර්තා කළේ චමෝදි ප්රබෝධාය. ඇය පන්දු ඕවර 4 තුළ නිලකුණු පන්දු ඕවර 2ක් යැව්වාය. එමෙන්ම ඇයගේ පන්දු රැකීම මනරම් වූයේය.
ලකුණු 5කට කඩුළු 03ක් බිඳහෙළුවාය. මනුදි නානායක්කාර ලකුණු 08කට කඩුළු 2ක්, ලිමන්සා තිලකරත්න ලකුණු 3ට කඩුළු 2ක් රශ්මිකා සෙව්වන්දි ලකුණු 2කට කඩුල්ලක් ලැබුවාය.







