ඩොලර් හිඟා කා රටින් ගෙන්වූ ලොකු ලූනු ඇලහැර ගොවීන් විනාශ කරයි…

දේශීය ලොකු ලූනු අස්වැන්නෙන්  කිලෝ ලක්ෂ 12ක් විකුණා ගන්න බැරිව කුණුවෙන්න පටන් අරන්!

මනම්පිටිය නිමල් ජයරත්න – 

තුර්කිය, පකිස්තානය , ඉන්දියාව ඇතුළු රටවලින් ලොකු ලූනු ආනයනය කිරීම නිසා ඇලහැර  ගොවිජන ව්‍යාපාරයේ මෙවර ලොකු ලූනු වගාකළ ගොවීන්ගේ අස්වනු  අලෙවි කරගැනීමට  නොහැකිව    කිලෝ ලක්ෂ දහයක් , දොළහක්, අතර අස්වැන්නක් නිවාස වල ගොඩගසා ඇති බව ඇලහැර ලොකු  ලූනු වගා කරුවන්ගේ  සංගමයයේ  කැඳවුම්කරු  ආර්.එම්.දිසානායක පැවසීය.

ඇලහැර ලොකු  ලූනු වගා කරුවන්ගේ  සංගමයයේ  කැඳවුම්කරු  ආර්.එම්.දිසානායක

“මුළු අස්වැන්නම කුණු වෙමින් යනවා…“ ඔහු අපට කියන්නේ දැඩි වේදනාවෙනි.

ඇලහැර   ගොවිජන  ව්‍යාපාරයේ  කුඹුරුගම, ජයසිරිපුර, ගඟේ යාය, නිකපිටිය, සරුබිම  යන හේන්වල  අක්කර 700 පමණ  ප්‍රමාණයක  නෙලාගත් ලොකු ලුණු මෙලෙස නිවාස වල ගබඩා කර ඇති බවත්,  ඒ සඳහා නියමිත මිලක් නොමැතිකම නිසා අලෙවි  කර ගැනීමට නොහැකි බවත්  මේ වන   විටත්  ලොකු  ලූනු කිලෝ ලක්ෂ දෙකක් පමණ   සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සභාපති දිසානායක කීවේය.


“දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  විදේශ රටවලින් ආනයනය කරන  ලද ලොකු ලූනු  ප්‍රමාණයක් ගොඩ ගහලා… මෙම තත්ත්වය උඩ අපේ  ගොවීන්ගේ ලොකු ලූනු   කිලෝවක් රුපියල් 130 ක මිලකටවත් අලෙවි කරගන්න බෑ…  ඒ  මිල ගණන් වලට විකුණලා අපේ      නිෂ්පාදන වියදමවත් ලබා ගන්න පුලවන් කමක් නෑ.“

සභාපතිවරයා පැහැදිලි කළේය.

“රජය කාබනික පොහොර හඳුන්වාදීමත් සමග  වෙළඳපොළෙන් රසායනික පොහොර දරාගත නොහැකි මිල ගණන් වලට අලෙවි වෙන්නෙ. ඒක රහසක් නෙමෙයි. ඒ රසයානකි පොහොර නැතිව අස්වැන්න ලබා ගන්න බෑ.   මේ අස්වැන්න අතේ පාඩුවක් නැතිව විකුණගන්න   නම් කිලෝ එකක් රුපියල් 180, 200, අතර මිලකට විකිණිය යුතුයි.“   ඇලහැර ලොකු ලූනු ගොවීන් කියන්නෙ එසේය.

ගොවි ගෙවල්වල විකුණාගත නොහැකිව ගොඩගැසී ඇති ලොකු ලූනු

ගොවීන් කියන්නේ මෙවර දේශීය ලොකු ලූනු බීජ තමන්ට අධික මිලක් ගෙවා ලබා ගැනීමට සිදු වූ බවය.

“ අපේ ප්‍රශ්නය  අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්.. මේ ගැන අමාත්‍යවරයාගේත්, ජනාධිපතිවරයාගේත්, අවධානයට යොමු කරවන්න…. “   ඇලහැර  ලොකු ලූනු ගොවීහු ඉල්ලා සිටිති.

“ලොකු ලූනු සාධාරණ මිලකට ලබා දීමට නොහැකි වුනොත් එළඹෙන කන්නයේ   වගාව අත්හරින්න සිදුවෙයි.    එම තත්ත්වයන් සැලකිල්ලට ගෙන, විදේශීය   රටවලින් ලොකු ලූනු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කරන්න.  ඩොලර් ටිකත් ඉතිරි වේවි. ගොවියාත් ආරක්ෂා වේවි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇලහැර ලොකු ලූනු ගොවීහු කියති.

Exit mobile version