සූරියවැව නුවන් ජයසේකර –
යාල රක්ෂිතයේ වනජීවී කාර්යාලයකට ඉතා ආසන්නයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් හතක් වටලා විනාශ කිරීමට තණමල්විල මූලස්ථාන පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී තිබේ. ඩ්‍රෝන යානා තාක්ෂණය යොදාගනිමින් ඊයේ (27) සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී රුපියල් කෝටි ගණනක් වටිනා ගංජා ගස් ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් ගිනිතබා විනාශ කර ඇත.
කෙසේ වෙතත්, මෙම වැටලීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන්ට යාල කළුපාලම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගෙන් දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. වැටලීම සඳහා රක්ෂිතයට ඇතුළු වීමට ගිය අවස්ථාවේදී වනජීවී නිලධාරීන් ඊට විරෝධය පාමින් පැය කිහිපයක් පොලිස් කණ්ඩායම රඳවා තබාගෙන තිබේ. පසුව පොලිස් උසස් නිලධාරීන් මැදිහත් වීමෙන් අනතුරුවයි වැටලීම ක්‍රියාත්මක කර ඇත්තේ.
අක්කර 10කට වඩා වැඩි භූමි ප්‍රමාණයක ව්‍යාප්තව තිබූ මෙම හේන් පවත්වාගෙන ගොස් ඇත්තේ වනජීවී කාර්යාලයට කිලෝමීටරයක් වැනි කෙටි දුරකිනි. එක් හේනක් කාර්යාලයේ සිට මීටර් 500ක් වැනි ආසන්නයේ තිබී ඇති අතර, වැටලීම සිදුවන අවස්ථාවේදී එහි තිබූ ගංජා කපා ඉවත් කර තිබූ බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම සඳහා වනජීවී නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවට පොලිසිය සැක පළ කරයි. විශේෂයෙන්ම වැටලීම ප්රමුඛ කරගෙන වනජීවී නිලධාරීන් සිදු කළ බාධා කිරීම් හේතුවෙන් සැකකරුවන් පස් දෙනෙකුට පළා යාමට අවස්ථාව ලැබී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පළා ගිය පස් දෙනා හඳුනාගෙන ඇත.
තණමල්විල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. මොනරාගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ සහ සහකාර පොලිස් අධිකාරී මානියන්ගම යන නිලධාරීන්ගේ උපදෙස් මත, තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සහ කළුතර ගුවන් හමුදා කඳවුරේ ඩ්‍රෝන මෙහෙයුම් ඒකකය එක්ව මෙම වැටලීම සිදු කළහ.







