මනම්පිටිය නිමල් රජයරත්න –
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පවතින දැඩි විදුලි අර්බුදයට පිළියමක් ලෙස නව සූර්ය බලශක්ති (Solar) පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ඊයේ 19 වනදා ආරම්භ කෙරිණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වය මත මෙම කටයුතු සුබ මොහොතින් ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් ලක්ෂ 390 කි. මෙහි පළමු අදියරේ වැඩකටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘතිය ආරම්භ කරමින් අනුශාසනාවක් පැවැත්වූ රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට දැනට මාසිකව රුපියල් ලක්ෂ පහකට අධික විදුලි බිලක් ලැබෙන අතර, මේ වන විට විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් ලක්ෂ අසූහතරකි. මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ සේනාසනයේ වැඩවසන සියක් නමක් මහා සංඝරත්නයට මෙන්ම දායක කාරකාදීන්ට ද විශාල සහනයක් සැලසෙන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
හිරුජය ග්‍රීන් එනර්ජි ආයතනයේ මූලිකත්වයෙන්, ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන්ගේ, දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ සහ රජයේ අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
හිරුජය ග්‍රීන් එනර්ජි ආයතනයේ සාමාන්‍යාධිකාරී ගිම්හාන් මලින්ද ප්‍රකාශ කළේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ළමා හා වැඩිහිටි නිවාස සඳහා ද මෙම ව්‍යාපෘතිය නොමිලේ ලබා දීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, 2026 වසර තුළ දිවයින පුරා ළමා හා වැඩිහිටි නිවාස 500ක් සඳහා මෙම සූර්ය බලශක්ති පද්ධති නොමිලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට හිරුජය ග්‍රීන් එනර්ජි ආයතනයේ සභාපති චුමේද ජයමාල් පෙරේරා, කළමනාකාර අධ්යක්ෂ සංජය පෙරේරා, සාමාන්‍යාධිකාරී ගිම්හාන් මලින්ද, සහකාර සාමාන්‍යාධිකාරී රොෂාන් ශානක ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.







