ලංකා විදුලිබල මණ්ඩලය 2025 වර්ෂය සඳහා රුපියල් බිලියන 38.7ක සමස්ත අලාභයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුවේ නවතම වාර්තාව හෙළි කරයි. ගාස්තු සංශෝධන සහ කාලගුණික බලපෑම් මත පිරිවැය ඉහළ යාම මෙම මූල්‍ය පසුබෑමට ප්‍රධාන හේතු වී තිබේ.
මහබැංකු දත්තවලට අනුව, 2024 වසර අවසානයේ රුපියල් බිලියන 174.3ක් ලෙස පැවති මණ්ඩලයේ කෙටිකාලීන ණය සහ වගකීම්, 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 206.2 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, රුපියල් බිලියන 409.0ක්ව පැවති දිගුකාලීන වගකීම් ද රුපියල් බිලියන 411.2ක් දක්වා වර්ධනය වී තිබේ.
2024 වසරේ අවස්ථා කිහිපයකදී විදුලි ගාස්තු අඩු කළ අතර, 2025 ජනවාරි මාසයේදී ද ගාස්තු තවත් 20%කින් පහත හෙළනු ලැබීය.
කෙසේ වෙතත්, වසරේ මුල් කාර්තුවේ පැවති වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වූ අතර, ඒ වෙනුවට පිරිවැය අධික තාප විදුලි උත්පාදනය ඉහළ නැංවීමට සිදුවිය. මෙම තත්ත්වය මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කළ බව වාර්තාවේ සඳහන් වේ.
පළමු කාර්තුවේ අලාභය පියවා ගැනීම සඳහා 2025 ජුනි මාසයේදී විදුලි ගාස්තු 15%කින් ඉහළ දැමූ නමුත්, එය සමස්ත අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීය. මේ හේතුවෙන් පිරිවැය සහ ආදායම් පුරෝකථන සැලකිල්ලට ගනිමින්, 2026 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු තවත් 10.3%කින් ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන ඇත.







