හිටපු ජනපති දැනුවත්ව සිනමන් බෝම්බරකරුට තඹ ටොන් 500 දීලා

ලිඛිතව ඉල්ලීම කරලා තියෙන්නෙ හිටපු ජනපති මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර විසින් සිනමන් බෝම්බකරුගේ තඹ කර්මාන්තශාලාවට තඹ ටොන් 500ක් ලබාදෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ  අනාවරණය විය.

එම අනාවරණය සිදුවන්නේ මේ වනවිට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් කේ. ඩී. රංජිත් අශෝක කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීය.

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝමබය පුපුරුවාගත් එම්. අයි. ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවට කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ලෝහ නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.


එහි වාර්තාව 2019.05.06 වනදා ලැබුණු බවත් එමගින් අනාවරණය වී ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති මහින්ද ජිනසේන විසින් කොලෝසස් සමාගමට අබලි ලෝහ වැඩිවශයෙන් නිකුත් කිරීමට උපදෙස් ලබාදී තිබූ බව‍ත් යැයි සාක්ෂි කොමිසම හමුවේ පැවසීය.

එමෙන්ම බෝම්බකරුට අයත් කොලෝසස් සමාගමෙහි විදේශීය ජාතිකයන් 25 දෙනෙකුද සේවය කර ඇත.  අතර ඒ අතර නේපාල ජාතිකයෙක්, බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙක් ද සිට ඇත. ඉතිරි පිරිස ඉන්දීය ජාතිකයන් වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

කොමිසම මෙහිදී විමසා සිටියේ එවක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ඉන්ෂාෆ් අහමඩ් සමඟ සම්බන්ධකමක් පැවතියේද යන්නයි.

ඉන්ෂාෆ් අහමඩ්ගේ ගණකාධිකරුවෙකු නිතර අමාත්‍යංශයට පැමිණ ගියත් ඉන්ෂාෆ් හා අමාත්‍යවරයා අතර සම්බන්ධයක් තිබුනේදැයි තමන් නොදන්නා බව සාක්ෂිකරු එහිදී සඳහන් කළා.

කෙසේවෙතත් ඉන්ෂාෆ් අහමඩ් හොදම ව්‍යවසායකයා ලෙස අවස්ථාවකදී සම්මානයකට පාත්‍ර වී සිටි අයුරු තමන් පසුව පුවත්පතකින් දුටු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන් විසින් සහන මිලට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර ඇති අතර ඉන් විශේෂ අවස්ථා දෙකක් තමන් හඳුනාගත් බව පැවසූ සාක්ෂිකරු සදහන් කළේ,
එක් අවස්ථාවකදී කොලෝසස් සමාගමට තඹ ටොන් 500ක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර  කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබූ බවයි.

තවත් අවස්ථාවක ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරියක වූ දේවිකා ලියනගේ  ය විසින්ද කොලෝසස් සමාගම වෙත පිත්තල කිලෝග්‍රෑම් 1000ක් ලබාදෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබූ බවද සාක්ෂිකරු කොමිසමට අනාවරණ කළේය.

යම් අවස්ථාවක කොලෝසස් ආයතනය විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මිලදී ගත් අබලි ලෝහ විදෙස් රටවල් සඳහා අපනයනය කර ඇති බව හෙළිවූයේදැයි කොමිසම මෙහිදී විමසුවේය.

එලෙස අපනයනය කර ඇති බවත් ඒ හරහා මෙරටට විදේශ විනිමය උත්පාදනයකර ඇති බවත් සාක්ෂිකරු සඳහන් කළේය.  කොමිසම එහිදී පෙරළා ප්‍රශ්න කළේ විදේශ විනිමය ලෙස මෙරටට ගෙන්වූ බවට ඔබ සඳහන් කරන මුදල් ඔවුන් විසින් අන්තවාදී කටයුතුවලට යොදා ඇති බව ඔබ නොදන්නේද යන්නය.

තමන් ඒ ගැන දැන් දන්නා බව සාක්ෂිකරු එහිදී කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොලෝසස් ආයතනයට අදාළ ද්‍රව්‍ය අපනයනය කිරීමට අවස්ථාව හිමිවූයේ එවක අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන   විසින් අත්සන් යොදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ පත්‍රිකාවක් මඟින් බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

Exit mobile version