එජාපයේ ඡන්ද රැස්වීම් ඩිජිටල් වෙයි –

රටේ අනෙකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂයේ මෙවර මහ මැතිවරණ ව්‍යාපාරය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලබන  28 වැනි දා සවස 4 ට රට පුරා සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙහි මංගල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී 28 වැනි දින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන අතර ඊට සමගාමීව සෑම මැතිවරණ කොට්ඨාසයකම රැස්වීම් 160 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන ප්‍රධාන රැස්වීමේදී  රනිල් වික්‍රමසිංහ මහතා එදින විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත අතර එය පුළුල් තිර උපයෝගී කරගෙන නව තාක්ෂණය ඔස්සේ රැස්වීම් 160 හි ජනතාවට එකවර නැරැඹිය හැකි වන පරිදි විකාශනය කිරීමට නියමිතය.


මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් අඩවිය යූටියුබ් ඇතුළු නව මාධ්‍ය ඔස්සේ විකාශනය කිරිමටත් ඒ ඔස්සේ නිවෙස්වල සිට ජනතාව ප්‍රධාන රැස්වීමට සම්බන්ධ කර ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙක් අවම වශයෙන් එක් රැස්වීමක් හෝ සංවිධානය කළ යුතු අතර ඊට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වන්නේ නම් ඊටද එජාපය අවසර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් එක් රැස්වීමකට උපරිම වශයෙන් සිය දෙනෙක් සහභාගී කර ගනිමින් සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කර අනෙකුත්  පක්ෂවලට ද ආදර්ශයක් වන ආකාරයට කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

Exit mobile version