21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වහාම එය සම්මත කරගැනීමට අද රැස් වූ පක්ෂ නායකයින් පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

එහි පළමු පියවර ලෙස 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යළි බලාත්මක කිරීමට තීරණය වී තිබේ.

දෙවැනි පියවර ලෙස නිශ්චිත කාල සීමාවක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට එහිදී එකඟතාවය පල කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද පැවති මෙම සාකච්ඡාවට සහභාගී වීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර ඇති අතර දෙමළ ජාතික සන්ධානය නියෝජිතයින්ට අද සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබේ.


මේ අනුව 21 වැනි සංශෝධනය සම්බන්ධව අවසන් තීරණය ලබන සඳුදා ලබා ගැනීමට තීරණය කර ඇත.

රට පත් වී ඇති බැරෑරුම් තත්ත්වය සහ ජනතාව පත්ව සිටින පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රථමයෙන්ම 21 වැනි සංශෝධනය ගෙනැවිත් රටේ ස්ථාවරභාවයක් ඇතිකර පසුව ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවට එකඟතාවයකට පැමිණ තිබේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ද යෝජනා වූ බව අධිකරණ ඇමති විජයදාස රාජක්ෂ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව පොදුජන පෙරමුණ ලෙස කුමක් කිවහැකි දැයි  පොදුජන පෙරමුණු  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්තගෙන් කළ විමසීමක දී ඔහු ලංකාසරට පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීමට පක්ෂය එකඟවන බවය. එය   පුද්ගලයෙක් ගැන සිතා පැමිණෙන නිගමනයක් නොව, රට ගැන කල්පනා කර එන නිගමනයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

 

 

Exit mobile version