20 වැනි සංශෝධනය විගණකාධිපති පඹයෙක් කරයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනට අනුව ජාතික විගණන කොමිෂන් සභාව අහෝසි වීමට අමතරව රටේ  ආයතන ගණනාවක් විගණනය කිරීමේ වගකීම රජයේ විගණකාධිපතිවරයාට අහිමි වන බව ශ්‍රි ලංකා විගණන සේවා සංගමය පෙන්වා දෙයි.

එම සංගමය අවධාරණය කරන්නේ රාජ්‍ය සමාගම් විගණනය කිරීම, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සියලුම අමාත්‍යංශවල අමාත්‍යවරුන්ගේ කාර්යාල විගණනයට ලක් කිරීමේ අවස්ථාව අහිමි කර ඇති බවය. එසේම මීට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ පොලිස් කොමිෂන් සභාවද විගණනයට ලක් කිරීමේ වගකීමෙන් විගණකාධිපතිවරයා ඉවත් කර තිබේ.

මෙම ආයතන විගණන වගකීමෙන් ඉවත් වීමේ තත්ත්වය නිර්මාණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) වගන්තිය 20 වැනි සංශෝධන කෙටුම්පතෙන් ඉවත් කර තිබීමය. මෙම තත්ත්වය තුළ මෙම ආයතනවල මූල්‍ය පාලනය සහ මූල්‍ය විනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හෝ රටට වගකියන තත්ත්වය බැහැර වන බව පෙන්වා දෙන ශ්‍රි ලංකා විගණන සංගමය මෙසේද සඳහන් කරයි.


“රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තු කාර්යභාරය සහ රටේ මහජන අපේක්ෂා ඉටු කිරීමට හා ඒකීය ආයතනයන්හි ගනුදෙනුවල පාරිශුද්ධභාවය පරීක්ෂා කිරීම සඳහා පවතින යාන්ත්‍රණය සඳහා දැඩි හානියක් සිදුවිය හැකි බැවින් උක්ත සංශෝධනය වර්තමාන රාජ්‍යයේ  ප්‍රතිපත්ති හා සමපාත නොවේ.

උක්ත 154(1) ව්‍යවස්ථාව ඉවත් කිරීම තුළින් විධායකයේ ප්‍රධාන නිලධාරීන් සහ ස්වාධීන කොමිෂන් සභාවල ගණන් දීමේ වගකීම් නිසි ලෙස ඉටු කර ඇද්ද යන්න විගණකාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක් නොවන බවට මහජනතාව අතර බරපතල සැකයක් මතුවිය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

රාජ්‍ය විගණනයේ ස්වාධීනතාව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  170 වන ව්‍යවස්ථාව තුළ විගණකාධිපතිවරයා රාජ්‍ය නිලධාරියකු නොවන බවට සඳහන් ව තිබූ වගන්තිය යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඉවත් කර තිබීම හේතුවෙන් විගණන කටයුතු සම්බන්ධ පාර්ලිමේන්තු කාර්යභාරය හා විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වී ඇති බව පෙන්වා දෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උක්ත සංශෝධනයන් රාජ්‍ය විගණනයට අදාළ ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන් සම්ප්‍රදායන් සහ පරිචයන්ට අනුකූල නොවන බැවින් උක්ත සංශෝධන මහජන අපේක්ෂාවන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර ගැටුමක් නිර්මාණය කරවන බැවින්   20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) සහ 170- වන ව්‍යවස්ථාව සංශෝධනය නොකරන ලෙසත් විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යය හා කර්තව්‍යය ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ සුදුසු ආකෘතියක් සකස් කරන ලෙසත් කාරුණිකව ඉල්ලමු.

Exit mobile version