20ට පක්ෂ වූ සජබ මන්ත්‍රීවරු නෙරපති

ආණ්ඩුව විසින් ගෙන ආ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගය ඒකමතිකව තීන්දු කර තිබියදී ඊට එරෙහිව යමින් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර තිබේ.

සමගි ජනබලවේගයේ අද පැවැති විශේෂ හමුවකදී තීරණය කර ඇත්තේ මේ බව කථානායකවරයා වෙත දන්වා ඔවුන්ට වෙනම අසුන් පැනවීමට පියවර ගන්නා ලෙස දැන්වීමත්, ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමටත් ය.

පක්ෂය ඒ පිළිබඳ ගත් තීරණ ඇතුළත් නිවේදනය පහත දක්වා ඇත.


2020/10/23

සමගි ජනබලවේගයේ විශේෂ නිවේදනය

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද(23) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී පැවැති අතර එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගනු ලැබීය.

ඒ අනුව, 

01 ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම  ත්‍රයි රේඛීය දැනුම්දීමක් මත (three line whip) ඒකමතිකව  තීන්දු කරනු ලැබු අතර ඊට එරෙහිව යමින් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය  පාවිච්චි කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව  විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දු කරනු ලැබීය. 

ඒ අනුව, එහි පළමු පියවර ලෙස එම පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපන්නට තීරණය කරනු ලැබීය.

02.සමගි ජනබලවේගයේ  මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව  සංශෝධනයට පක්ෂව සහයෝගය ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමට  තීන්දු කරනු ලැබීය. 

03.පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුල එම පිරිස් සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමට තීන්දු කරනු ලැබීය.

04.  සමගි ජනබලවේගය විසින් කොරෝනා උවදුර සමනය වූ සැනින් පක්ෂයේ  දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීන්දු කරනු ලැබීය.

ඉහත ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන සමගි ජනබලවේගය ශක්තිමත් ,ජනතාවාදී බලවේගයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබීය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රංජිත් මද්දුමබණ්ඩාර 
මහලේකම් 
සමගි ජනබලවේගය 

Exit mobile version