ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රිසි, සිංහල සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම ඇති ඩිජිටල් මෙවලමක් වෙත පිවිසීමට මහජනතාවට හැකියාව ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
‘2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සංසන්දකය’ ලෙසින් මෙම මෙවලම නම් කර ඇති අතර, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙන වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ඔවුනොවුන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්රකාශයන්වලින් ලබා දී, ඇති පොරොන්දු ඊට එකතු කර ඇත.
පොරොන්දු එකතු කිරීමේ දී, ප්‍රකාශයන් සහ පුරෝකථනයන් හා බැදුණු පොරොන්දු නොසළකා හැර ඇති අතර ඒ වෙනුවට ක්‍රියාවක් හා බැදුණු පොරොන්දු කෙරේ අවධානය යොමු කර ඇත. එවැනි පොරොන්දු 1500කට අධික ප්‍රමාණයක් මෙම මෙවලමට ඇතුළත් ය.
එහි ඇති ප්‍රතිපත්ති ප්‍රකාශක සංසන්දකයෙන් අපේක්ෂකයින් ලබා දී, ඇති පොරොන්දු තේමා 15ක් ඔස්සේ එකිනෙක සසඳා බැලීමට හැකිය.
තවද, පරිශීලකයන්ට ඔවුන්ගේම ප්‍රතිපත්ති ප්රකාශනයන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද, මෙම මෙවලමින් සළසා දී, ඇත. එසේ නිර්මාණය කරන ‘මනංකල්පිත’ ප්‍රතිපත්ති ප්‍රකාශයන් ප්‍රධාන අපේක්ෂකයින් තිදෙන ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන් සමග කොපමණ තරමකට ගැලපේ ද, යන්නත් ඉන් කියයි.
මෙම වෑයම ගෝලීය වශයෙන් ද, සුවිශේෂී වන අතර, වෙරිටේ රිසර්ච් හි පාර්ලිමේන්තු පර්යේෂණ අංශය වන Manthri.lk වේදිකාවේ මෙම මෙවලම ස්ථාපිත කර තිබේ.
වැඩි විස්තර සදහා https://manthri.lk/en/presidential-election-manifesto-2024 සබැදිය භාවිතා කළ හැකිය. පහත දක්වා ඇති QR හරහා ද, සම්බන්ධවීමට පිළිවන.








