අවස්ථා 03ක දී මිය ගිය ගවයින් 4000ක් සඳහා උතුරේ කිරි ගොවීහු වන්දි ඉල්ලතී..

දිනසේන රතුගමගේ –

2020  වසරේ සිට ප්‍රධාන කාරණා දෙකක් හේතුවෙන් මියගිය ගවයින් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙස උතුරේ ගව පට්ටි හිමියන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ගව පට්ටි හිමියන් සඳහන් කරන්නේ 2020 වසරේදී මුලතිව් හා කිළිනොච්චි යන ප්‍රදේශ වලත් යාපනයේ කොටසකත් පැතිර ගිය ගව  වසූරිය හේතුවෙන් ගවයින් 3374 දෙනෙකු මිය ගිය බවයි.

ඒ අවස්ථාවේදී මියගිය ගවයින් වෙනුවෙන් වන්දි මුදල්  ලබා දෙන බවට කෘෂිකර්ම නිලධාරීන් එම පළාත්වල ගොවීන්ට සහතික වූවත් මේ දක්වා  ගවයින් අයිතිකරුවන්ට වන්දි මුදල් නොලැබුණු බව  ඔවුන් ආණ්ඩුකාරවරයාට පෙන්වා දී තිබේ.

පසුව 2022 වසරේ කිළිනොච්චිය හා මුලතිව් පළාත් වලට බලපෑ අධික වර්ෂාව නිසා හටගත් සීතල ඔරොත්තු දීමට නොහැකිව ගවයින් 243 ක් මියගිය බව ගව පට්ටි හිමියෝ සදහන් කරති.


පසුගිය දිනවල කිළිනොච්චිය යාපනය හා මුලතිව් යන පළාත් වල යළිත් වරක් පැතිර ගිය ගව  වසූරිය හේතුවෙන් මේ වන විට ගවයින් 318 ක් මියගොස් ඇති නිසා 2020 වසරේ සිට මේ දක්වා ගවයින් 3935 ක් මියගිය බව උතුරේ ගවපට්ටි හිමියෝ ප්‍රකාශ කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කිසිදු අවස්ථාවක නිලධාරීන්ට එම රෝග පාලනය කිරීමට නොහැකි වූ නිසාත් ගවයින් මියගියේ ගව පට්ටි හිමියන්ගේ වරදකින් නොවන නිසාත් මියගිය ගවයින් වෙනුවෙන් යම් සාධාරණ වන්දි මුදලක් ගෙවන ලෙස උතුරේ ගව පට්ටි හිමියන්ගේ අත්සන් වලින් යුක්තව ලිපියක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කොට තිබේ.

Exit mobile version