ෆොක්ස් හිල් අනතුරට මුල් වූ ධාවකයින් දෙදෙනා අත් අඩංගුවට…

පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් තවත් 23 දෙනෙකුට තුවලා සිදුකරමින්  දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන්  එම අනතුරට මුල් වූ මෝටර් රථ දෙක ධාවනය කළ   රජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටියේය. අනතුර සිදුවූයේ පැයට කිලෝමීටර් 160කට අධික වේගවත් 18 වැනි තරග ඉසව්ව වන අශ්වබල 1500 කාණ්ඩය යටතේ පැවැති ෆෝර්ඩ් ලේසර් මැස්ඩා තරග ඉසව්වේදීය.

එම තරගයේ තුන්වැනි වටයේදී තරගකරුවන් වන රජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි විසින් පදවනු ලැබූ මෝටර රථ එකිනෙක ගැටීමෙන් පසු රජිත උළුවිට විසින් ධාවනය කළ මෝටර් රථය ඒ මොහොතේ ධාවන පථය අසල සේවයට යොදවා සිටි තරග අධීක්ෂකවරු දෙදෙනකු ද යටකරමින් අධික වේගයෙන් නරඹන්නන් දෙසට විසි වී ගියේය.

අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයේ ජනතාව විලාප දීමට පටන් ගත් අතර විශාල නොසන්සුන්තාවක් ද පැතිරී ගියේය. අනතුරින් ජිවිත 7ක් අහිමි වූ අතර බදුල්ල සහ දියතලාව රෝහල් වෙත 23 දෙනෙක් ඇතුළත් කරනු ලැබූහ.


ශ්‍රී ලංකාවේ මෝටර් රථ තරග පිළිබඳ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට් සංගමයේ සහ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සංවිධායකත්වයෙන් පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි තරග ඉසව් 25ක් සඳහා තරගකරුවන් 200කට අධික පිරිසක් සහභාගි වූ අතර, මෙරට මෝටර් රථ තරග ඉතිහාසයේ මෙවැනි බිහිසුණු අනතුරක් සිදු වූයේ පළමු වරටය.

මින් පෙර අවසන් වරට මෙම තරගාවලිය පවත්වනු ලැබ්වේ  මීට වසර 5කට පෙරය.  එනම්, 2019 වසරේ හරියටම අප්‍රේල් මස 21 වැනිදය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ එදිනය.  එබැවින්     තරගාවලිය අතරමැද එය අවලංගු කිරීමට තරග සංවිධායකයන්ට සිදු විය. අනතුරුව යළි තරගාවලිය පැවැති ඊයේ (21) ය. තරග ඉතිහාසයේ මහා බිහිසුණු අනතුර සිදුකරමින්    තරගාවලිය නැවතත්  අතරමැද නැවතුනේය. මේ දෛවෝපත සිද්ධියේ අනුයාත සම්බන්ධය බොහෝ දෙනා කම්පනයට පත් කර ඇත්තේය.

තරග සංවිධායකවරු පවසන්නේ නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් යොදා තිබුණ ද පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික දුහුවිල්ල මේ අනතුරට ප්‍රධාන හේතුව බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තරගය නරඹමින් සිටි අමාත්‍ය දිළුම් අමුණුගම ප්‍රකාශ කළේ මින් ඉදිරියට මෙවැනි තරග සංවිධානය කරන්නේ නම් නරඹන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා දැඩි අවධානයක් යොමු කිරීමට සංවිධාකයින් කටයුතු කළ යුතු බවය.

 

 

Exit mobile version