හොර මුද්දර වංචාවට සැක පිට සජිත්ගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්  අත්අඩංගුවට

මීට වසර 14කට පෙර නීත්‍යානුකූලව තැපැල් දෙපාර්තමේන්තුවට භාර දිය යුතුව තිබූ මුද්දර වටිනාකම් සටහන් යන්ත්‍රයක් හොරෙන් සඟවා තබාගෙන ව්‍යාජ ලෙස මුද්දර සටහන් කර මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනබව කියන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ    දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරන ලේකම්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර්.පීරිස් අද (18)  සැකපිට  පොලිස් අත්අඩංගුවට පත් විය.

ඔහු එසේ අත්අඩංගුවට පත්වන්නේ ව්‍යාජ ලෙස මුද්දර සටහන් කර තැපෑලට දැමූ ලියුම් දස දහසකට ආසන්න ප්‍රමාණයක්   මධ්‍යම තැපැල් හුවමාරුව විසින්  සොයා ගැනීමත් සමගය.

වර්ෂ 2000 – 2004 කාලය තුළ මහජන සේවය සඳහා රජයෙන් ලබා දුන් සහනයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට මෙම මුද්දර වටිනාකම් සටහන් කිරීමේ යන්ත්‍ර බෙදා දී තිබුණේ නිශ්ඡිත ක්‍රමවේදයක් තුළය. යන්ත්‍රයක් නිකුත් කළ  මන්ත්‍රීවරයෙකුට   නියමිත මුදල් සීමාව ඇතුළත යන්ත්‍රය සැකසුම් කර සීල් තබා තිබිණි. එම මුද්‍රාව වෙනස් කළ හැකිව තිබුණේ තැපැල් දෙපාර්තමේන්තුවට පමණි. එමෙන්ම එම මුද්දර වටිනාකම් සටහන් කළ ලිපි තැපැල් කිරීමට තැපැල් ස්ථානයක් නම් කර තිබිණි. ලිපි තැපැල් කළ හැක්කේ එම තැපැල් ස්ථානයෙන් පමණි.


මෙම මුද්දර සටහන් යන්ත්‍රය නිමල් ආර්.පීරිස් පලාත්සභා මන්ත්‍රීවරයෙක්ව සිට වකවානුවේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් නිකුත් කරන ලද්දකි.

පසුව මේ ක්‍රමය වෙනස් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණු මේ වටිනාකම් සටහන් කිරීමේ යන්ත්‍ර වර්ෂ 2006 පමණ වනවිට   තැපැල් දෙපාර්තමේන්තුව විසින් යළි එකතු කළේය. ඒ වෙනුවට පාර්ලිිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන්ම විශේෂ මුද්දරයක් මුද්‍රණය කර වසරකට ලක්ෂ තුන හමාරක වටිනාකමකින් යුතු මුද්දර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙත ලබා දුනි.

එසේ තිබිය දී මෙම යන්ත්‍ර භාර නොදී සඟවා තබාගෙන මුද්‍ර කඩා ව්‍යාජ ලෙස මුද්දර වටිනාකම් සටහන් කර   යම් සබඳතා මත කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවලින් ලියුම් තැපැල් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අකටයුත්ත වඩාත් අශෝභන වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කළ මුද්දර භාවිතය ද අවලංගුවන වටපිටාවක මහජන නියෝජිතයන් වෙත ලබා දුන් මුද්දර යන්ත්‍ර සඟවාගෙන අවභාවිත කිරීම නිසා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version