හොර පාස්පෝට් එකකින් රටට ඇතුළුවන්නට ගොස් පිටුවහල් කරන්නට හැදූ  හොර චීනා   අරුන්දිකගේ ලියුමකින් රට ඇතුළට ගනී… ඒ ආවෙ ආයෝජකයෙක් ලු!

වැසිකිළි අස්සේ සැඟවෙමින් හොර පාස්පෝට් වලින් රටට ඇතුළුවන්නට හදන අරුන්දිකගේ නල්ලමලේ ආයෝජකයින් ගැන ගුවන්තොටුප විමතියෙන්....

 ටී.කේ.ජී.කපිල  සහ කීර්ති ප්‍රනාන්දු –

ව්‍යාජ    ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකුත් ඔහු සමග පැමිණි   චීන සහ ඊජිප්තු ජාතික පුද්ගලයින් දෙදෙනෙකුත්  අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි ගුවන් යානයකින්ම  යළි හරවා යැවීමට රඳවා ගැනීමේ කුටියක් තුළ රඳවා සිටිය දී රාජ්‍ය  අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ලිඛිත ඉල්ලීමක් මත රට තුළට  මුදා හරින්නට සිදුවූ බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමති එවූ ලියුම…

ඇමතිවරයා කරන ලද ලිඛිත දැන්වීම පදනම් කරගෙන  ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය  විසින් ලබා දුන් උපදෙස් ප්‍රකාරව මොවුන් රට තුළට නිදහස් කළ බව එම ආරංචි මාර්ග කියයි.

ඉකුත් 05/18 දින රාත්‍රී 09.50 ට මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් , පැය දෙකකට පමණ පසුව , ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම  සඳහා නිශ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් හමුවට පැමිණ තිබේ.   එහිදී මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා , අප්‍රිකාවේ ” ගිනි ” රාජ්‍යයේ කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් ආගමන විගමන නිලධාරීන්ට  ඉදිරිපත් කර ඇත.


මොහු ඩුබායි සිට කටුනායක දක්වා පැමිණීමට භාවිතා කර  ඇත්තේ ද එම ගුවන් ගමන් බලපත්‍රයයි .

එහෙත් කටුනායක ගුවන් තොටුපළේ දී , එම ගුවන් ගමන් බලපත්‍රය , එහි ජීව දත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වි තිබිණි. එම අනාවරණයත් සමග  මොවුන් තිදෙනා එක්ව ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග කීවේය.

එහිදි ආගමන විගමන නිලධාරීන් , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර , එම ගුවන් සේවා ” රැදවුම් කුටිය ” යොමුකර තිබුණේ   පිටුවහල් කිරීම සඳහාය.  .

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබූ අතර , මෙම ගුවන් මගීන් අල්ලස් දීමට ද තැත් කර තිබූ බවට ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි .

පසුව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා , මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් , නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් , ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබිණි.

ඒ අනුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත  කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඊයේ (20) අලුයම 01.00 ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සදහා නිදහස් කර තිබේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ආකාරයට ගුවන් තොටුපළ තුළ සහ එහි වැසිකිළි තුළ සැඟවෙමින් ,කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර මත ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම පිළිබඳව ආගමන විගමන නිලධාරීන් සිය මවිතය පළ කර සිටිති .

Exit mobile version