හොර උපාධී මගඩි කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට

හොර උපාධිය සහතිකය අතටම අසුවූ විට දඬුවම් පසෙක තබා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අනුයුක්ත කරගෙන...

කොළඹ විශ්විද්‍යාලයෙන් නිකුත් කළ බව කියා ව්‍යාජ පශ්චාත් උපාධි සහතිකයක් ඉදිරිපත් කර ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තනතුරක් ලබාගෙන වැටුප් ලබමින් සිටිය දී හසුවුණු කාන්තාවකට දඬුවම් කරනු වෙනුවට දැනට ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂජනරාල් වරයා ලෙස කටයුතු කරන විවෘත විශ්විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර විසින් තම අමාත්‍යාංශයට අනුයුක්ත කරගෙන ඇතැයි ද මේ මොහොත වනතුරුත් ඇය සම්බන්ධ විනය ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ද වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය තනතුරක සිටි මෙම කාන්තාව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරකට උසස් වීම සඳහා කොළඹ විශ්විද්‍යාලය විසින් නිකුත් කළ පශ්චාත් උපාධි සහතිකයක් ඉදිරිපත් කර ඇත. එම සහතිකය ඉදිරිපත් කරමින් ඇය වර්ෂ 2019 සැප්තැම්බර් මාසයේ දී උක්ත තනතුරට පත් වී තිබේ.


ඇය ඉදිරිපත් කළ සහතික පිළිබඳ නිශ්චිත පටිපාටිය අනුව විමසා බැලීමකින් තොරව එම තනතුරේ ඇයව පිහිටුවීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කර ඇත.

වසර එක හමාරකට පසුව මෙම සහතිකයේ නිවැරදිභාවය සම්බන්ධව සහතික කරගැනීම සඳහා එය කොළඹ විශ්විද්‍යාලයට යොමු කර ඇත. එහිදී කොළඹ විශ්විද්‍යාලය ජාතික අධ්‍යාපන ආයතනයට දන්වා ඇත්තේ එම සහතිකය ව්‍යාජ සහතිකයක් බවත් මෙම සහතිකය ඉදිරිපත් කළ තැනැත්තිය සම්බන්ධව නිශ්චිත විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ය.

එහෙත් විනය ක්‍රියා මාර්ග ගන්නවා වෙනුවට කොළඹ විශ්විද්‍යාලයෙන් මේ වංචාව ගැන දන්වා දින දෙකක් ගිය පසු ජාතික අධ්‍යාපන ආයතනයේ පරිපාලන හා මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් වංචාකාර කාන්තාවට දන්වා ඇත්තේ විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයක් ඉදිරිපත් කර ප්‍රතිඵල සහතික කරන ලෙසය. එම ලිඛිත ඉල්ලීම කර ඇත්තේ පසුගිය මස 08 වැනිදා ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ දැනුම් දීමෙන් දින දෙදකට පසු එනම් පසුගිය මස 10 දා මෙම කාන්තාව ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන උපාලි සේදර විසින් තමන්ගේ අමාත්‍යාංශයට අනුයුක්ත කරගෙන තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී මාධ්‍යයට ප්‍රකාශක් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් උපාලි සේදර පැවසුවේ ඇයව තමන්ගේ අමාත්‍යාංශයට අනුයුක්ත කර ගත්තේ ඇය සම්බන්ධව සිදු කරන පරීක්ෂණය අවසන් වනතෙක් බවය.

එහෙත් මේ සම්බන්ධව කළ විමසීමක දී රාජ්‍ය සේවාකොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් ලංකාසරට පැවසුවේ ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමේ වංචනික ක්‍රියාවක් කර ඇති බව විශ්විද්‍යාලයකින් තහවුරු කර එම වංචාකරු පිළිබඳ පර්යේෂණයක් කරන ලෙස දන්වා සිටින අවස්ථාවක දී විනය පරීක්ෂණය කළ යුත්තේ අදාල පුද්ගලයාගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව බවය.

මේ සිදුවීම සම්බන්ධව කළ විමසීමක දී සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මෙය සමස්ථ ගුරු  අධ්‍යාපන සේවයම හෑල්ලු කිරීමක් බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම්වරයාගේ හැසිරීම ප්‍රශ්න කාරී බවත්ය.

අධ්‍යාපන සහතිකත් හොරට ලබාගත් කථිකාචාර්යවරුන් හා අධ්‍යාපන සුදුසුකම්වලත් ගැටලුකාරී තත්වයක් ඇති කථිකාචාර්ය පිරිසක් සහිත ජාතික අධ්‍යාපන ආයතනය වැනි තැනකට රටේ ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ නතු කරගැනීමට  ලේකම් වරයෙක් දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවත් එය අධ්‍යාපන ක්ෂේත්‍රයටම කරන බරපතල විනාශයක් බවත් එම සංගමය වැඩි දුරටත් කීවේය..

Exit mobile version