හෙළිකොප්ටර් අංගනය ගැන සෝමාවතී නායක හාමුදරුවන් කියන කතාව

සෝමාවතියේ නව හෙළිකොප්ටර් අංගනය

පසුගිය 30 වැනිදා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  එම මැතිණියත් සමග සෝමාවතී පුදබිමට ගොස් රටටත් ජනතාවටත් සෙත් පතා පූජාවක් තැබූ අතර නිරන්තරව ජලයෙන් යටවන සෝමාවතී පුද බිමේ තැනූ හෙළිකොප්ටර් අංගනය විවෘත කළේය.

ඓතිහාසික සෝමාවතී පුදබිමේ භාරකාර, මල්වතු පාර්ශවයේ ලේඛකකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමි මේ හෙළිකොප්ටර අංගනය ගැන ලංකාසරට විස්තර කළහ. උන්වහන්සේ කී කතාව මෙසේය.

පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි

“ පසුගිය අවුරුද්දෙ නොවැම්බර් වලදි ගරු ජනාධිපති තුමා සෝමාවතියට ආවා. එතකොට මුලු පුද බිමම වතුරෙන් යටවෙලා. එතුමා එදා කීවා ගුවන් හමුදාව යොදවා පුදබිමේ හෙලිකොප්ටර් අංගනයක් හදන්න කටයුතු කරන්නම් කියලා. “


“ මේ අවුරුද්දෙ මුල ගුවන් හමුදාවෙ මහත්තුරු මෙහෙට ආවා අංගනයක සැලසුමත් හදාගෙන. ඇවිත් මට කීවා පුදබිමේ අංගනය හදන්න භූමියක් පෙන්වන්න කියලා. මා පෙන්නුවා. එතැන අඩි 12ක් උසට ගොඩ කරලා තමයි මේ අංගනය හැදුවෙ. අඩි 12 ක් උසට, අඩි 60ක් දිග සහ පළල හිටින්න තමයි අංගනය හදලා තියෙන්නෙ. එතැන ඉඳන් පන්සලට ගුවන් පාලමක් හැදුවා. මීටර හැටක් විතර දිගට. පහුගිය සෙනසුරාදා (30) ගරු ජනාධිපති තුමා ආවෙ ඒ අංගනය විවෘත කරන්නත් එක්ක තමයි..“ උන්වහන්සේ කීහ.

සෝමාවතිය පුදබිම ක්‍රිස්තු පූර්ව දෙවන සියවස තෙක් දිවෙන ඉතිහාසයක් සහිත භූමියකි.   පුරා විද්‍යා ආඥා පණතට අනුව   මෙවැනි පුදබිමක කරන ඉදිකිරීමක් සම්බන්ධව පූර්ව මාර්ගෝපදේශනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුදබිම භාර පහමුණේ සුමංගල හිමියන් මේ සම්බන්ධව තමන්ගෙන් විධිමත් අවසරයක් ලබා නොගත් බවත්, භූමියක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය  ලබා නොගත් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

Exit mobile version