හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 303කට අවුරුදු 21 නඩු අසා සැකකාරියක් ජීවිතාන්තය දක්වා හිරේට යවයි

Prisoner in prison with handcuff

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

වයස අවුරුදු 20 දී හෙරොයින් ග්‍රෑම් 8යි මිලි ග්‍රෑම් 404ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන හෙරොයින් ජාවාරම සම්බන්ධව නඩු පැවරූ තරුණියකට අවුරුදු 21කට පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීමේ පුවතක් බලපිටිය මහාධිකරණයෙන් වාර්තා විය. 

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

විසි හැවිරිදි තරුණියක් හෙරොයින් ග්‍රෑම් 8යි මිලි ග්‍රෑම් 404ක්  සන්තකයේ තබාගෙන සිටියදී අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ දී 2000 අගොස්තු 23 දින  ඇල්පිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගුවට ගත්තේය. අනතුරුව විමර්ශන කටයුතු සඳහා ඇයව කොස්ගොඩ පොලිසියට භාර දී තිබිණි.


අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව කොස්ගොඩ පොලීසිය මගින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා හෙරොයින් ජාවාරම් කිරීම යනුවෙන් චෝදනා දෙකක් ගොනු කර අංක 24963 යටතේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත්තේය. 

කොස්ගොඩ පොලීසිය, අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින්  ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැව්වේය. අත්අඩංගුවට ගත් බව කී හොරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 404ක් වුවද රස පරීක්ෂක වාර්තාව අනුව ඇය සන්තකයේ තිබූ බව කියැවුනේ හෙරොයින්   ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 210 කි. 

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකටයුතු අවසන් වීමෙන් අනතුරුව නඩුව අංක 1873 යටතේ බළපිටිය මහාධිකරණයට යොමුකර විය. පුරා අවුරුදු 21 නඩුව ඇසුනේය.  දැන් ඇයගේ වසය අවුරුදු 41කි. අහුන්ගල්ල, වැලිකන්දේ පදිංචි ඉන්දුවාදුර අනුෂා ද සිල්වා නැමැති මේ කාන්තාවට අදාල නඩුවේ තීන්දුව ඊයේ (13) ප්‍රකාශයට පත් වුණේය.

හෙරොයින් ළග තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට තීන්දු කළ ඇයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමට බළපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි එම් අබේරත්න නියම කළාය.  

වසර 21 ක කාලයක් පුරා පැවති මෙම නඩු විභාගයේදී සැකකාරියට එරෙහි  පැමිණිල්ලේ චෝදනා සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බව  වැඩි දුරටත් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරිය සැකකාරිය හෙරොයින් ලඟතබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකටම වරදකරු වී තිබෙන හෙයින් අනාගත පරපුර රැක ගැනීමේ අරමුණින් මෙම දඩුවම් නියම කරන බව ප්‍රකාශ කළාය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ එවකට පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (5736), අසේල (1984), පොලිස් කොස්තාපල්වරුන් වන විමලරත්න (5871), සංජීව (32821), කාන්තා පොලිස් සැරයන් සන්ධ්‍යා (2886) සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබෙන අතර කොස්ගොඩ පොලීසියේ පොලිස් සැරයන් ප්‍රියන්ත (59725) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.

 

  

Exit mobile version