හෙදියන් 3000ක් ඉල්ලූ ඇමෙරිකාවට යවා ඇත්තේ තුන් දෙනයි !

ශ්‍රි ලංකාව ඇමෙරිකානු ශ්‍රම බඳවා ගැනීමේ ආයතනයක් හරහා හෙද හෙදියන් තුන් දහසක් පමණ ඇමෙරිකාවේ රැකියාවලට යැවීම සඳහා ගිවිසුම් ගත වී තිබුණද වසර හතක් තිස්සේ මෙම ගිවිසුම හරහා ඇමෙරිකාවට යවා ඇත්තේ හෙදියන් තුන් දෙනකු පමණක් බව අනාවරණය විය. මේ වනවිට විශාල පිරිසක් විදේශ ගත වීමේ අවශ්‍යතාවෙන් පසුවන තත්ත්වයක් තුළ වසරක් තුළ උපරිම වශයෙන් හෙදියන් එම ගිවිසුම අනුව යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන ලෙස පෙරේදා (22) රැස්වූ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා ) සෞඛ්‍ය අමාත්‍යංශය ට ද සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයට උපදෙස් දුන්නේය.

මෙහිදී කාරක සභාවට සහභගී වූ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සභාව හමුවේ අනාවරණය වුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශය අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කර නැති බවත් අදාළ ගිවිසුම වසර පහකට වරක් අත්සන් කළ යුතුව තිබුණද මෙම ගිවිසුමේ එක් පාර්ශ්වයක් පමණක් අත්සන් කළ අසම්පූර්ණ පිටපතක් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් අනාවරණය කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් අල්විස් පැවසූයේ රජයේ හෙද විදුහල්වලින් පිහිටුවන ලද හෙද හෙදියන් අතරින් වසරකට 200ත් 300ත් අතර ප්‍රමාණයක් දැනට විදේශ ගත කිරීම සඳහා අවස්ථාවක් ලබා දිය හැකි බවය. එසේ වුවද 2023 වසර තුළ විදේශගත වී ඇති හෙදියන් ප්‍රමාණය 20ක් පමණක් බවත් ඔවුන්ට සාපේක්ෂව වෛද්‍යවරුන් 300කට වඩා විදේශ ගත වී ඇති බවත් ඔහු අනාවරණය කළේය.


මෙහිදී ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනයේ නිලධාරියකු අනාවරණ කළේ කර්මා සර්විසස් නම් ඇමෙරිකානු ආයතනය සමඟ හෙදියන් විදේශ ගත කිරීම අදාළ ගිවිසුම යළි යාවත්කාලීන කිරීමට මේ වනවිට කටයුතු කර ඇති අතර වසරක් සඳහා එය බලාත්මක බවයි. කෙසේ වුවද මෙම වසර තුළ මේ වනවිට හෙදියන් තිදෙනකු ඇමෙරිකාවේ ඊට අදාළ විභාගය සමත් ව වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් ව සිටින අතර තවත් හෙදියන් තිදෙනකු විභාගය සඳහා සූදානම් වන  බව අනාවරණය කළේය. එසේම ඔහු මෙහිදී සඳහන් කළේ හෙදියන් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙම රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකමක් වන අයිඊඑල්ටීඑස් (IELTS) ඉංග්‍රිසි භාෂා ප්‍රවීණතා විභාගය අසමත් වීමද මෙලෙස ඔවුන් යැවීමට පවතින විශාල බාධකයක් වී ඇති බවයි.

මේ භාෂා ප්‍රවීණතාව ලබා දීම පිළිබඳවද එහිදි අවධානයට ලක් වූ අතර විශේෂයෙන් හෙදියන්ට ඉංග්‍රිසි භාෂා දැනුම සහ ඔවුන්ගේ භාෂණ හැකියාවන් වර්ධනය කිරීමට ඉලක්ක කර ගත් විශේෂ වැඩ සටහන් රජය විසින් දියත් කළ යුතු බවටද සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළේ පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීමෙන් රටට මේ මොහොතේ වැඩි විදේශ විනිමක් ලබා ගැනීමේ හැකියාව පවතින නමුත් විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ කම්කරු සහ විදෙශ රැකියා අමාත්‍යංශය මේ පිළිබඳව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. එසේ වුවද ඇමෙරිකාවට විශාල හෙදියන් ඉල්ලුමක් තිබියදීත් අදාළ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් මෙතෙක් නොපැවතීම  පිළිබඳව විවේචනයට ලක් කළේය.

මෙහිදී සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ හෙදියන් ඇතුළු පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීමට අදාළ ව කඩිනමින් ගත යුතු ක්‍රියා මාර්ග හඳුනාගෙන අදාළ පියවර ක්‍රියාත්මක කරවීමට රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් උප කමිටුවක් පත් කිරීම සුදුසු බවය.

ඒ අනුව විදේශ අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, විදේශ රැකියා, වෘත්තීය පුහුණු අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට සභාපතිවරයා නියෝග කළේ මාස දෙකක් පමණ කාලයක් තුළ මීට අදාල වාර්තාවක් සකස් කරන ලෙසය. එම වාර්තාව කෝපා කමිටුව් උප කමිටුවට ලබා දිය යු බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

 

අදාළ වීඩියෝ සමබන්ධතාව පහත දැක්වේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


https://parliament.lk/si/business-of-parliament/webcast/committee-live-on-demand

 

 

Exit mobile version