හිරුණිකා අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති නඩුවට අදාළව අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.


එම අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ ඇපකරුවන් හෝ නීතිඥවරයෙක් අද අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කළේය.

අනතුරුව නඩුව ජුනි මස 17 වනදා කැඳවීමට නියම කළේය.

එදින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇපකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන මෙන්ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා කොළඹ, දෙමටගොඩ පුදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් වාහනවලින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, පහරදී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ ආධාරකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ නඩු පවරනු ලැබීය.

නඩු විභාගය අතරවාරයේ එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අට දෙනා ඉකුත් 2017 වසරේ නොවැම්බර් මස 24 වනදා අධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔවුන්ට වසර 12 කට අත්හිටවූ වසර 02 ක් බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම චෝදනාවලට වරද පිළිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විට නඩු විභාගයක් පැවැත්වේ.

Exit mobile version