හිටපු විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල්ට මරණීය දණ්ඩනය…

කහවත්ත හිටපු ප්‍රාදේශීය සභා සභාපති වජිර හා හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්තත් පෝරකයට

ප්‍රේමලාල් ජයසේකර

හිටපු විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති, මෙවර පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක  ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මිනී මරුම් චෝදනාවකට වරදකරු වී අද මරණීය දණ්ඩනයට නියම වුණේය.

2015 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා  කහවත්ත නගරයේ ප්‍රචාරක සැරසිලි කරමින් සිටි පිරිසකට 2015 ජනවාරි මස 05 දා සඳුදා අලුයම වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රේමලාල් ජයසේකරත්, සබරගමු පළාත් සභාවේ හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වාත් චෝදනා ලැබ තිබිණි.

මරා දමා තිබුණේ ශාන්ත දොඩම්ගොඩ නැමැති අයෙකි.

මෙම මිනීමරුම් චෝදනාව සම්බන්ධයෙන් එදා ප්‍රතිචාර දැක්වූ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර බීබීසී සේවයට කියා සිටියේ  විශාල පිරිසක් පැමිණ ස්වකීය පක්ෂ කාර්යාලය කඩා දැමූ බවත්, එම පිරිසෙහි පාතාල මැරයන් ද සිටි වගත්, ආරක්ෂක අංශවල උපදෙස් මත එතැනින් ඉවත් වූ බවත්ය. ඔවුන්ගේම පිරිසක් තැබූ වෙඩිල්ලක් වැරදී මේ මරණය සිදුවන්නට ඇතැයි ඔහු බී.බී,සී,සේවයට කීවේය.


අධි චෝදනා

එහෙත් මේ පුද්ගල ඝාතනය සම්බන්ධව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්ති කරුවන්ට අධි චෝදනා ගොනු කෙරිනි.

ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළේය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට විරුද්ධව නිතිපතිවරයා විසින් ගොනු කරණු ලැබ තිබුණි

සිද්ධිය වූ ස්ථානයේ තිබූ වෙළදසල් තුනක සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ ප්‍රතිඋත්පාදන දර්ශන තැටිද අධිචෝදනා සමඟ විත්තිකරුවන්ට ලබා දුන්නේය.

තීන්දුව

පුරා වසර පහක් තිස්සේ අඛණ්ඩව නඩු විභාගය පැවැත්විනි.

එම නඩුවේ තීන්දුව අද (31) ප්‍රකාශ කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරට  මරණීය දණ්ඩනය නියම කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සමග කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි යන දෙදෙනා  ද මේ අපරාධය සම්බන්ධව වරදකරුවන් කොට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේය.

 

Exit mobile version