හම්බන්තොට කොවිඩ් රෝහලේ අනංගයා ඉවත් කරන්න… සුළු සේවකයෝ වැඩ වරති…

සූරියවැව නුවන් ජයසේකර –

වැඩ වැරූ සුළු සේවකයින්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හම්බන්තොට කොවිඩ් ප්‍රථිකාර රෝහලේ සේවයේ නියුතු සුළු සෞඛ්‍ය සේවිකාවකට එම රෝහලේම සේවය කරන හෙද නිළධාරියෙකු විසින් ලිංගික අතවර කිරිමට තැත් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් හම්බන්තොට මහ රෝහලේ හා හම්බන්තොට කොවිඩ් ප්‍තිකාර ඒකකයේ සේවයේ නියුතු සියළුම සෞඛ්‍ය කාර්ය සහායකයින් ඊයේ (19) සවස සිට සිය සේවා කටයුතුවලින් ඉවත්ව තිබේ.

පසුගිය 16 වන දින දහවල් හම්බන්තොට කොවිඩ් ප්‍රථිකාර ඒකකයේ සේවය කරන 38 හැවිරිදි සුළු සේවිකාවකට එම ඒකකයේම සේවය කරන 45 හැවිරිදි හෙද නිළධාරියෙකු විසින් ලිංගික අතවර කිරිමට උත්සාහ කර තිබේ. අදාල සිද්ධියට මුහුණ පෑ හම්බන්තොට කොවිඩ් ප්‍රථිකාර ඒකකයේ සුළු සේවිකාව මෙලෙස පැවසුවාය.

“මා එක් රේ දෙකක් රැගෙන ඒම සඳහා යමින් සිටියදී මෙම හෙද නිළධාරියා මගේ පස්සෙන් ආවා. ඒ ඇවිත් කොහොමද නංගි සුව දුක් කියා අසමින් මගේ පස්සෙන්ම ඇවිත් එක සැරේටම මගේ අතින් අදලා ඒ අසල තිබූ කාමරයකට දමාගෙන මාව බදාගත්තා. මා එයාගෙන් බේරිලා පැනලා ඇවිත් සිද්ධිය පිළිබඳව රෝහල් අධ්‍යක්ෂ වරයාට පැමිණිලි කලා. පසුව සිද්ධීය පිළිබඳව හම්බන්තොට මුලස්ථාන පොලිසියටත් පැමිණිල්ලක් කලා. පැමිණිල්ල සිදුකිරීමට පොලිසියට පැමිණි අවස්ථාවේ එම හෙද නිළධාරියා මට දුරකතනයෙන් කතා කර සමාවත් ඉල්ලුවා.

මෙම හෙද නිළධාරියා මිට පෙරත් අවස්ථා කිහිපයකදීම සුළු සේවිකාවන්ට අතවර කිරිමට උත්සාහ කර තිබුණා. මෙම සිදුවීම නිසා මා දැඩි අපහසුතාවයකට පත් වුණා. අපි කියන්නේ අපිට නිදහසේ රැකියාව කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගා දෙන්න කියලා. මෙවැනි නිළධාරින් මෙම රෝහලෙන් ඉවත් කරන්න කටයුතු කරන්න කියා ඉල්ලනවා.“ ඇය පැවසුවාය.

ඉකුත් 16 වන දින මෙම සිදුවිම සිදුව ඇති අතර මේ වන තුරුත් අදාල හෙද නිළධාරියා එම රෝහලේ සේවය කිරීම හේතුවෙන් අනෙකුත් රෝහල් සුළු කාර්ය සහායිකාවන්ද දැඩි අපහසුවකට පත්ව තිබේ. වහාම මෙම හෙද නිළධාරියා රෝහලෙන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා සියළු සුළු සෞඛ්‍ය කාර්ය සහායකයින් සේවයෙන් ඉවත්ව රෝහල ඉදිරිපිට සිට විරෝධතාවයේ නිරත විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ සුරංග ඔබේසේකරගෙන්ද විමසිමක් කළෙමු. එහිදී ඔහු මෙලෙස පැවසීය.

“හෙද නිළධාරියෙකු සුළු සේවිකාවකට ලිංගික අතවරකීරීමට තැත් කිරිමක් පිළිබදව පැමිණිල්ලක් මා වෙත ලැබි තියෙනවා. මා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කිරිමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හම්බන්තොට දිසාපතිවරයාටත් දැනුම් දිමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම සිද්ධියට අදාලව පොලිස් පිරීක්ෂණයකුත් පැවැත්වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා සාධාරණ පරික්ෂණයක් කිරීමට අවශ්‍ය සියළුම කටයුතු සිදුකර තියෙනවා. යම් අයෙකු වරදක් කර ඇතිනම් ඔහුට නිසි දඩුවම් ලබා දිමට කටයුතු කරනවා යැයි පැවසීය.

Exit mobile version