හඳුනන්නේ නෑ කියූ ජාවාරම්කාර පෙම්වතා ගැන අහන්න ජැකලින් යළිත් ඉන්දීය මුල්‍ය විමර්ශනයට කැඳවයි

ඉන්දීය රුපියල් කෝටි 200 කට අධික කප්පම් සිද්ධියකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ඉන්දියාවේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක කාර්යාලය විසින් සුපිරි බොලිවුඩ් තරුවක් වන නිළි ජැකලින් ෆර්නැන්ඩස් දෙසැම්බර් 8 වැනිදා කැඳවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා ( 5) එම විමර්ශනය සම්බන්ධයෙන් අදාළ ආයතනය විසින් මුම්බායි ගුවන් තොටුපලේදී ජැකලින් රටින් පිටවීම නතර කරන ලදී.

ජැකලින් ඩුබායි බලා පියාසර කිරීමට සිටියදී දෙසැම්බර් 5 වැනිදා මුම්බායි ගුවන් තොටුපළේදී ඇයව රඳවාගෙන සිට ඇති අතර ඇයට එරෙහිව සෝදිසි නිවේදනයක් ද නිකුත් කර ඇත.


බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය යනු ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශයේ ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂිත මූල්‍ය විමර්ශන ආයතනයකි.

ඇය කෝටිපති ජාවාරම්කරුවකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට සැක කෙරෙන අතර ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගෙන ඇති බව වාර්තා වේ. ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක අශ්වයෙකු සහ පර්සියානු බළලුන් හතර දෙනෙකුට රුපියල් ලක්ෂ 9 බැගින් වූ ත්‍යාග අතර අනෙකුත් තෑගි ද ඇතුළත් විය.

අගෝස්තු මාසයේ සිට, නඩුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජැකලින් කිහිප වතාවක්ම බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කැඳවා ඇත. ඇයට එල්ල වී තිබුණේ මුදල් විශුද්ධිකරණ චෝදනාව ය. කෙසේවෙතත් දැන් ඇය කරුණු සැඟවීමේ වරදට චෝදනා එල්ලවෙමින් ඇතැයි එරට වාර්තා පවසයි. ඇය ප්‍රශ්න කළ සෑම වරකදීම පවසා තිබුණේ ඔහු රසිකයෙක් ලෙස තමාට මල් චොකලට් ආදිය තෑගි කර එවා තිබූ බවත් ඔහු නාඳුනන බවත් ය. එසේවුවත් සුකේෂ් අත්අඩංගුවට ‍ගැනීමෙන් පසුව ජංගම දුරකතනය පරීක්ෂාවේදී දෙදෙනාගේ ඡායාරූප තිබීම නිසා විමර්ශකයන් ඇය පිළිබඳ අධීක්ෂණය කරමින් සිට ඇති බවට එරට වාර්තා පවසයි.

මෙතෙක් ජැකලින්ගේ වාසියට තිබූ මෙම චෝදනා දින කිහිපයකට පෙර ඇය සහ සුකේෂ් චන්ද්‍රසේකර්ගේ පින්තූර සමාජ මාධ්‍යවල මතු වූ විට සියලු දෙනාගේ අවධානය ජැකලින් වෙත යොමු විය. ඇය මෙතෙක් ඔහු නාඳුනන බව කළ ප්‍රතික්ෂේප කිරීම් සියල්ල ඉන්පසුව කනපිට හැරෙන්නට පටන්ගෙන ඇත. මෙතෙක් ජැකලින් වෙත චෝදනා නොකළ ඇගේ රසික රසිකාවියන් දැන් ඇයව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමට පටන්ගෙන ඇත.

සුකේෂ් වඩා කුප්‍රකටව ඇත්තේ කතාබහෙන් මිනිසුන් අල්ලා ගෙන තමාට අවශ්‍ය පරිදි මෙහෙවමින් වැඩ කරගන්නා අයෙක් ලෙසයි. ඔහුට ඕනෑම අයෙක් ලෙස පෙනී සිටිමින් විනාඩි 30ක් තුළ ඕනෑම අයකු තමා කෙරෙහි විශ්වාසය ඇතිවන අයකු ලෙස පරිවර්තනය කිරීමේ හැකියාවක් ඇති අයකු ලෙස ප්‍රකටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් 32 හැවිරිදි විවාහකයකු වන සුකේෂ්, වයස අවුරුදු 17 සිට මිනිසුන් රවටා කප්පම් ගැනීම, වංචා කිරීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවෙකි. ඒ වයසේදීම ඔහු දුරකථනයෙන් රජයේ ඉහළ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් රවටා ගැනීමට පටන් ගත්තේය. 2007 දී, ඔහුට වයස අවුරුදු 18ක් වත් සම්පූර්ණ නොවූ විට, ඔහු ඉතා ඉහළ නිලධරයෙකු ලෙස පෙනී සිටිමින්, බැංගලෝර් සංවර්ධන අධිකාරියෙන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන මුවාවෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් රැවටීය. එහෙත්, ඔහු ඉක්මනින්ම නිරාවරණය විය. 2007 දී, ඔහු පළමු වරට බැංගලෝර්හි බැනර්ඝට්ටා පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස රාජ්‍ය නිලධාරීන්, ඉහළ පෙළේ නිලධාරීන්, දේශපාලකයන්, සුපිරි තරු බොහෝ ක්ෂේත්‍රයක ධනවතුන් විශාල පිරිසකගෙන් කප්පම් ගත් අයකු ලෙස සුකේෂ් ප්‍රකටය. සුකේෂ්ට දැනට ඉන්දීය අධිකරණවල නඩු 21ක් ඇත.

Exit mobile version