සෞඛ්‍ය බලධාරීන් නොදන්නා ෆයිසර් එන්නත් තොගය ගෙන්වා තිබෙන්නෙ ඇමරිකන් තානාපති කාර්යාලයෙන්…

ගෙන්වා ඇත්තේ කාර්ය මණ්ඩලයට නොව ප්‍රදානයක් ලෙස දෙන්න... ප්‍රදානය කාට කළාදැයි සෞඛ්‍ය බලධාරීන් දැනුවත් නෑ...

සෞඛ්‍ය බලධාරීන් නොදන්නා බව කී ෆයිසර් එන්නත් තොගය කටුනායකින් ඊයේ අලුයම ගොඩබාන ආකාරය

සෞඛ්‍ය බලධාරීන් විසින් රට තුළට පැමිණ ඇතැයි නොදන්නා බව කියන කිලෝ 115ක් බර ඇසුරුම් දෙකක පැමිණ ඇති ෆයිසර් එන්නත් තොගය ඇමරිකානු තානාපති කාර්යාලයේ නමට පැමිණ ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග තහවුරු කරයි.

ඩුබායි සිට ඊයේ (12) අළුයම 5.35ට කටුනායක වෙත පැමිණි යූ.එල්. 226 දරන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය ලංකාවට ගෙන්වා ඇත.

ඔවුන් තානාපති මුක්තිය යටතේ ගෙන්වා කටුනායක ගුවන් තොටුපලින් පිට කර ඇති මෙම එන්නත් තොගය පිළිබඳව කළ විමසීමක දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ ප්‍රකාශ කළේ ඇමරිකානු තානාපති කාර්යාලය එන්නත් ප්‍රමාණයක් ගෙන්වීමට අවසර ඉල්ලා තිබුණු බැවින් එම අවසරය ලබා දුන්නත් ඒවා ගෙන්වීමට අවසර ඉල්ලා තිබුණේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට නොව ප්‍රදානයක් ලෙස ලබා දීම සඳහා බවත්ය.

එහෙත් එම ප්‍රදානය ලබා දුන්නේ කවරෙකුටදැයි තමන් නොදන්නා බව අප කළ විමසීමක දී සභාපතිවරයා පැහැදිලි කළේය.

මේ පිළිබඳව ඖෂධ සංස්ථාවේ සභාපති දිනුෂ දසනායකගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ කිසිම ප්‍රදානයක් තමන් වෙත නිල වශයෙන් නොලැබුණු බවත් දැනට ඔවුන්ගේ තොග සඳහා අලුතින් එක් වී ඇත්තේ ඊයේ ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 26000 පමණක් බවත්ය.

Pfizer
ඇමරිකානු තානාපති කාර්යාලය ගෙන්වා තිබූ එන්නත් තොගය කටුනායකින් ගොඩබාන ආකාරය

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සමන් රත්නායක කීවේ තවමත් එවැනි ප්‍රදානයක් පිළිබඳව නොදන්නා බවය. තානාපති මුක්තිය යටතේ තානාපති කාර්යාලයකට එන්නත් ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව කී ලේකම්වරයා මෙවැනි එන්නත් තොගයක් ලංකාවට පැමිණි බවට තමන් දැනුවත් වී නැති බව කීවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් ප්‍රකාශ කළේ ඊයේ ලැබුණු ෆයිසර් එන්නත් විසි හය දහසින් පිට වෙනත් කිසිම එන්නත් ප්‍රමාණයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් නැති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ දැනුවත් පරිදි ලංකාවේ දැනට ෆයිස්ර් වැනි එන්නතක් විද්‍යානුකූලව ගබඩා කිරීමේ පහසුකම් ඇත්තේ ජාතික ලේ බැංකුවේ පමණක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත් තොගය ගොඩබාන ආකාරය

Exit mobile version