සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස්වලට පිටින් පොලොන්නරුව රෝහල් අධ්‍යක්ෂ රුපියල් කෝටියක් වැය කර ජංගම විකිරණ යන්ත්‍රයක් අරන්…

polonnaruwa

ශ්‍රියානි විජේසිංහ –

රුපියල් ලක්ෂ 25 – 30 මුදලකට මිලදී ගත හැකිව තිබූ ජංගම එක්ස් කිරණ යන්ත්‍රයක් වෙනුවට රුපියල් කෝටියක මුදලක් වැයකර අතේ ගෙන යා හැකි එක්ස්කිරණ යන්ත්‍රයක් මිලදී ගැනීමට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇතැයි විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ අතේ ගෙනයාහැකි එක්ස්කිරණ යන්ත්‍රය භාවිත කර එක්ස්කිරණ ඡායා පිටපත් ලබා ගැනීම ඉතා අසීරු බවත් එම පිටපත් නිවැරදිව ගත නොහැකි බවත් පෙන්වා දෙමින් මෙම යන්ත්‍ර මිල දී නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන් බව සංගමයේ ප්‍රධාන ලේකම් ඈපා ධර්මකීර්ති සඳහන් කළේය.

මෙම දැනුම් දීමත් සමඟ කොවිඩ් කාලයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් මෙරටට ගෙන්වීමට සැලසුම්කර තිබූ අතේ ගෙනයා හැකි එක්ස්කිරණ යන්ත්‍ර 40ක් ගෙනවීම වහාම නතර කළ බව ඈපා ධර්මකීර්ති පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය නතර කළද පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂවරයා එම තීරණය ක්‍රියාත්මක කරමින් රුපියල් කෝටියක මුදලක් වැය කර එක් යන්ත්‍රයක් රෝහලට මිලදී ගෙන ඇතැයි හෙතෙම පැවසුවේය.


කෙසේ නමුත් රුපියල් කෝටියක් වැය කර අතේ ගෙන යාහැකි යන්ත්‍රයක් මිලදී ගත්තද එම යන්ත්‍රය භාවිත කිරීමට විකිරණ තාක්ෂණවේදින් නතර කර ඇති අතර එම නිලධාරීන්ට විරුද්ධව රෝහල් අධ්‍යක්ෂවරයා විනය ක්‍රියාමාර්ගයන් ගැනීමට කටයුතු කර ඇති බව ලේකම්වරයා පැවසුවේය.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ මෙම විනය විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පොළොන්නරු රෝහල සහ ඊට අනුබද්ධ රෝහල්වල පෙබරවාරි 2වන දින එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමටත් එදින දිවයිනපුරා රෝහල්වල විකිරණ අංශයේ කළු කොඩි ඔසවා විරෝධය පල කිරිමටත් කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විකිරණ තාක්ෂණවේදීන්ට එරෙහිව අසාධාරණ ලෙස දිගින් දිගටම විනය ක්‍රියාමාර්ගයන් ගන්නේ නම් පෙබරවාරි 6වන දින සිට පොළොන්නරුව රෝහලේ සහ ඊට අනුබද්ධ සියලුම රෝහල්වල අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව සංගමය සඳහන් කරයි.

Exit mobile version