සුනු විසුනු වූ ශ්‍රී ලංකා ඉනිම වනිඳු – පැතුම් ගොඩ ගනිති… අයර්ලන්තයට 172ක ඉලක්කයක්!

wanidu-hasaranga

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ පලමු අර්ධය නිමා වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සුව පහසු තැනකය. ඔවුන් පන්දු ඕවර 20 තුළ දී ලකුණු 171ක් රැස් කළහ. එහෙත් මේ අඩියට කණ්ඩායම රැගෙන එන්නේ පස්වන කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග හා පැතුම් නිශ්ශංක ගොඩනැගූ ලකුණු 126ක වගකීම් සහිත සම්බන්ධතාවය නිසාය.

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ සුනු විසුණු කරනු බලා සිටියෙමු. ලෙජන්ඩ් එකක් බව කී කුසල් ජනිත් පෙරෙරා යළිත් මුලුමනින්ම අසාර්ථක විය. කුසල් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.  ආරම්භක පන්දු යවන්නා වූ පොල් ස්ට්‍රීං කුසල් ජනිත්ට එවූ මුල්ම පන්දුවෙන්ම ඔහුව ගොදුරු කරගත්තේය.


අනතුරුව පිටියට පැමිණි ලෙජන්ඩ් චන්දිමාල් පන්දු හයකට පමණක් මුහුණ දුන්නේය. ලකුණු හයක් ලබා ගත්තේය. ඔහු වේග පන්දු යවන ජොෂ් ලිට්ල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය.

මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඉනි ගලවා ගත්තේය. ජොෂ් ලිට්ල් මනරම් පන්දු යැවීමක නිරත විය. ඔහු කඩුලු ත්‍රිත්වය අභිසයට පැමිණියේ එක ලඟ පන්දු දෙකක දී කඩුලු දෙකක් ලබා ගැනීමෙනි. ලකුණු 8ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ වැටිනි.

එක් අන්තයක සිටි පැතුම් නිශ්ශංකට වනිඳු හසරංග එක් වූයේ මේ අසීරු අවස්ථවේ දීය. වනිඳු සහ පැතුම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කුඩු කර දැමූ ඉනිම යළි අසීරුවෙන් ගොඩ නැගූහ. වනිඳු  විචිත්‍ර ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු 47ක දී ඔහු ලකුණු 71ක් ලබා ගත්තේය. හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් එම විශිෂ්ට ඉනිමට එක් විය.

මාර්ක් ඇඩයර්ගේ පන්දුවකට වනිඳු දැවී යනවිට පැතුම් සහ වනිඳු එක්ව ලකුණු 126ක අනගි සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි. වනිඳු දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 134ක් ලෙස සටහන් වෙද්දීය.

අනතුරුව භානුක රාජපක්ෂ එක් ලකුණකට ජොෂ් ලිට්ල්ට ගොදුරු විය. ඔහු මුහුණ දුන්නේ පන්දු 03කට පමණි. පන්දු 47ක දී මනරම් ලකුණු 61 ලබා ගත් පැතුම් නිශ්ශංකත් දවා ගැනීමට ලිට්ල් සමත් විය. පැතුම් ලකුණු 61ට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් එල්ල කර තිබිණි.   අනගි ප්‍රහාරයක් දියත් කළ දසුන් ශානක පන්දු 11 ක දී ලකුණු 21ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමට බිහිසුණු අනතුරක් කළ පන්දු යවන්නා ජොෂ් ලිට්ල්ය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 23කට කඩුලු 04ක් දවා ගත්තේය. මාර්ක් මාර්ක් ඇඩයර් පන්දු ඕවර 04 දී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි වී තිබේ.

Exit mobile version