සුදර්ශණ පැණිය ගැන ඇමති චන්න ජයසුමනට “රැහේ අයගෙන්“ අවවාදයක්

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදිතයන් සඳහා ලබා දිමට සුදුසු බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මෙන්ම ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන විසින් නිර්දේශ කරන ලද සුදර්ශන පැණිය නම් දේශීය ඖෂධය බටහිර වෛද්‍ය කර්මයට අනුව මිනිස් සිරුර තුළ කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බවට සායනික මට්ටමේ කිසිදු විශ්වසනීය පර්යේෂණයක තොරතුරු නොමැති බැවින් මෙම ඖෂධය රෝහල්වලට ලබා දෙන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගන්නා ලද තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස සායනික ඖෂධවේදය සහ ප්‍රතිකාරවේදය පිළිබඳ ශ්‍රි ලංකා සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රි ලංකාවේ සිටින ඖෂධවේදය සම්බන්ධ විශේෂඥවරුන්ගෙන් සැදුම්ලත් සංගමයක් වන මෙහි සභාපති කොළඹ විශ්ව විද්‍යාලයයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය රෝහිණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මෙම ලිපියෙන් ඔවුන් අවධාරණය කරන්නේ රෝගීන් සාර්ථක බවට සායනික මට්ටමේ කිසිදු සාක්ෂියක් නොමැති ඖෂධ විශේෂයේ බටහිර ඇලෝපති ක්‍රමය යටතේ නිර්දේශ කිරීම අනුමත නොකරන බවය.

මහාචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම ලිපියෙන් පෙන්වා දී ඇති පරිදි දැනට පැතිර යන කොවිඩ් වසංගතයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන බවට සායනික මට්ටමේ පර්යේෂණවලින් තහවුරු කර ගත් කිසිදු ඖෂධයක් භාවිත වන්නේ නැත. එවැනි රෝගීන් අසාද්‍ය මට්ටමේදී පමණක් භාවිත කිරීමට නිර්දේශීත එකම ඖෂධය වන්නේ ඩෙක්සමෙතසොන් නැමැති ඖෂධය පමණි. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්ද වාර්තා කර ඇත.


මෙවැනි තත්ත්වයක් යටතේ ලෝකය විවිධ විකල්ප ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම ස්වාභාවික තත්ත්වයක් වුවද බටහිර වෛද්‍ය විද්‍යාවේදී නිර්දේශ කෙරෙනුයේ සායනික මට්ටමින් මිනිසුන් ඇසුරේ ප්‍රතිකාරමය වශයෙන් මෙන්ම ඇතිවිය හැකි අතුරුඵල සහ රෝගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු කර ගන්නා ඖෂධයක් පමණි.

මෙම සුදර්ශන ඖෂධය සම්බන්ධයෙන් කතා බහ පැන නැගුණු අවස්ථාවේදී තම සංගමය මිනිසුන් ඇසුරේ මෙම ඖෂධය සාර්ථක ලෙස සහ ආරක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක වන බවට තහවුරු කරන කිසිදු විද්‍යාත්මක පර්යේෂණ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවත් සතුන් ඇසුරේ සිදු කරන ලද යම් පරයේෂණයකින් මෙම ඖෂධයේ භෞතික සහ රසායනික ගුණාංග පිළිබඳව තොරතුරු පමණක් ඇතුළත් වූ බවත් පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද ඖෂධවේදය පිළිබඳව මහාචාර්වයවරයකු ද වන රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි පසුබිමක් මත සුදර්ශන නම් ඖෂධය මෙරටට රෝහල් පද්ධතිය තුළ නිර්දේශ කිරීම පිළිබඳව එකඟතාව පළ කිරීම අසීරු බවත් පෙන්වා දෙන මහාචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමාත්‍ය මහාචාර්ය ජයසුමන විසින් ගන්නා තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස ඉල්ලා සිටී.

Exit mobile version