සිරකරුවන් කොරෝනා බලෙන් වැළඳගන්න හදන බවට පැමිණිලි

බන්ධනාගාර ගතව සිටින බොහෝ සිරකරුවන් පැන යෑමේ අරමුණින් උවමනාවෙන්ම කොරෝනා වැළඳ ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවට බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට පැමිණිලි ලැබී ඇත.

කොරොනා වැළඳීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒවායින් පැන යාම ඔවුන්ගේ මෙම සැලසුමේ ප්‍රධානතම අරමුණ වී තිබෙන බව බන්ධනාගාර බලධාරීන් පිරිසක් පසුගියදා ඇමතිනියට පෙන්වා දී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිරකරුවන් මේ සඳහා මූලික වී කටයුතු කරන බව මේ වන විට අනාවරණය වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.


බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යංශයේ පැවති රැස්වීමක දී ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර එම සැලසුමට අදාල කරුණු මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කොට තිබේ.

බෝගම්බර බන්ධනාගාරයෙන් සිරකරුවන් පිරිසක් අද පැනයාමට තැත් කළේ මෙම සැලසුමේ එක් පියවරක් ලෙස ද යන්න පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් තුළ මේ වන විට සැක පළවී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව තවදුරටත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග වැඩිදුරටත් ලංකාසරට අනාවරණය කළේය.

Exit mobile version