සිකුරාදා ප්‍රහාරය නිසා අයි.එම්.එෆ් ණයත්  නැතිවීමේ   අවදානමක් ! – මූල්‍ය විශේෂඥවරියක් අනතුරු අඟවයි

පසුගිය සිකුරාදා දිනයේ ගාලු මුවදොර අරගලකරුවන්ට රාජ්‍ය හමුදා යොදවා සිදු කළ පහරදීම   ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දීමට සැලසුම් කරන ණය සහනය කෙරෙහි  සෘජුවම අහිතකර ලෙස බලපාන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වයට හේතු වන්නේ ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් කාරක සභාව ශ්‍රි ලංකාවට ණය සහන ලබා දෙන්නේ නම් සම්පූර්ණ කළ යුතු බවට ඉදිරිපත් කර ඇති කොන්දේසි තුන සිකුරාදා ප්‍රහාරය ඔස්සේ  කඩවීම  බවත් මේ වනවිටත් එම සෙනෙට් සභාව මේ ගැන දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ආයතනික බැඳීම් හේතුවෙන් නම හෙළි කළ නොහැකි ඇමෙරිකානු මූල්‍ය විශේෂඥවරියක් ලංකාසරට අනාවරණය කළාය.

ඇයට අනුව  ආර්ථික අර්බුදය  හේතුවෙන් ණය සහනයක්  අපේක්ෂා කරන ශ්‍රි ලංකාව වෙත  එම ණය  සහනය ලබා දීමට නම් මූලික කොන්දේසි තුනක් සපුරාලිය යුතු බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට  ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

හමුදා ආක්‍රමණය…

එම කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ   සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, ශක්තිමත්  දූෂණ විරෝධී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම  සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම  ශ්‍රී ලංකාව විසින් අනිවාර්යයෙන් කළ යුතු බවය.


එය එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවට ලබා දෙන  ණය ඵලදායක නොවනු ඇති බවත් රට තවදුරටත් අර්බුදයකට තල්ලු වනු ඇති බවත් එම සෙනෙට් කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙන්ඩොසස්  පවසා ඇත.  ඔවුන් මෙම කොන්දේසි පිළිබඳව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මෙම මාසයේ මුල් සතියේදී බව සඳහන් වේ.

එම කොන්දේසි ඉදිරිපත් කළ ඇමෙරිකානු විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් සභාව  ඊයේ සිය නිල ටිව්ටර් ගිණුම හරහා පනිවිඩයක් නිකුත් කරමින් සිකුරාදා අලුයම ශ්‍රි ලංකාවේ සාමකාමී අරගලකරුවන්ට ශ්‍රි ලංකා ආරක්ෂක හමුදා භාවිත කරමින් සිදු කළ හිංසනය බියකරු එකක් බව පවසා එය හෙලා දැක ඇත.

 

එම සෙනෙට් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත අවධාරණය කර ඇත්තේ රටේ ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බලාපොරොත්තු වෙනුවෙන් කැප වන ලෙසත් ආර්ථික ස්ථාවරත්වය ඇති කරලීම සඳහා ක්‍රියා කරන ලෙසත්ය.

හමුදා පහර කෑමට ලක්වූ තරුණයෙක්…

මේ සියල්ලට ඉහළින් රටේ ජනතාව ගේ මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව මෙම සෙනෙට් කමිටුව සිය නිල පනිවිඩයෙන් අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිටත් රටේ දේශපාලන ස්ථාවරත්වය සහ මානව හිමිකම් ඇතුළු  යහපාලන ප්‍රතිපත්ති පිළිබඳව  අවධානය යොමු කරමින් සිටින පසුබිමක් තුළ ඇමෙරිකානු සෙනෙට් සභාවේ කමිටුවක් විසින් මතු කරන ඉල්ලීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි පවසන මෙම මූල්‍ය විශේෂඥවරිය මේ පිළිබඳව ශ්‍රි ලංකා රජය දැඩි සේ අවධානය යොමු කළ යුතුව  ඇති බව අවධාරණය කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිවූහගත කිරීම සම්බන්ධයෙන් එකඟතා ඇති කර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබා ගැනීමට පූර්ව කොනදේසියක් ව ඇති පසුබිමක් තුළ අදාළ ණය හිමි රටවල් යම් සහනයක් ලබා දීමට සූදානම් ව සිටියද එහිදී රටේ යහ පාලන මානව හිමිකම් , දූෂණ විරෝධී ප්‍රතිපත්ති පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ඇති බවත් ඊයේ ප්‍රහාරයත් සමඟ ඔවුන් මේ වනවිට පළ කර ඇති අදහස්වලින් ශ්‍රි ලංකාව සහ වර්තමාන රජය පිළිබඳව අනපේක්ෂිත අප්‍රසාදයක් මතුව තිබීම අභියෝගයක් විය හැකි  බවද  එහිදී අනතුරු ඇඟවීමක් කළාය.

Exit mobile version