සහරාන් අත්අඩංගුවට ගන්නැයි 09 වරක් කීවත් මෛත්‍රී, රනිල්  ඇහුවේ නෑ

හිටපු හමුදා බුද්ධි ප්‍රධානියෙක් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙයි.

Sri-Lanka-Easter-bombings

ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටි සහරාන්ගේ  ක්‍රියාකලාපය රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බැවින් ඔහව අත්අඩංගුවට ගත යුතු බව  අවස්ථා 09 කදී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළ ද  ආරක්ෂක මණ්ඩල ප්‍රධානියාව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිව යුත්තන්ගේ අවධානයක් හෝ යහපත් ප්‍රතිචාරයක් නොවූ බව පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් යුධ හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් ඊයේ (01) අනාවරණය කළේය.

තෙවැනි දිනයටත් කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් මෙම බුද්ධි නිලධාරියා තමා මෙම තොරතුරු ආරක්ෂක මණ්ඩලයට  2017 වසරේ දෙසැම්බර් 06 වෙනිදා සිට 2019 වසරේ මාර්තු 22 දක්වා වූ කාල වකවානුව තුළදී නව වරක් දැනුම් දුන් බවද සඳහන් කළේය. එසේම එම තොරතුරු  රාජ්‍ය බුද්ධි සේවයද දැනුම් දුන් බව ඔහු අනාවරණය කළේය. 

මට හරි කණගාටුයි. මේ අයට මේ ගැන හොඳ අවබෝධයක්  හෝ උනන්දුවක් නොමැති බවයි මට දැනුණේයැයිද එම නිලධාරියා කොමිසම හමුවේ පැවැසීය. 


කොමිසමේ දී අසන ද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් පැවසූයේ එවකට හමුදාපති  මහේෂ් සේනානායකව ද  තමා ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් කළ බවය. එහෙත් තමාට හිටපු යුධ හමුදාපතිවරයා වරක් ප්‍රකාශ කළේ මේ පිළිබඳව  වගකිවයුත්තන්ගේ උනන්දුවක් නොමැති බව පෙනෙනට ඇතැයි කියා බව  ඔහු මෙහිදී පැවසීය. 

 හමුදාවක් වශයෙන් අපි උපරිම දේ කරමු. අපි ගාව තියෙන තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයටයි, පොලිස්පතිවරයාටයි යවමු.යැයි එම අවස්ථාවේදී හමුදාපතිවරයා තමාට පැවැසූ බවද බුද්ධි නිලධාරියා පැවැසීය.

කාතන්කුඩියේදී 2019 අප්‍රේල් 16 වෙනිදා පුපුරාගිය යතුරුපැදි බෝම්බය ගැන ඊට දින දෙකකට පසුව රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමා සමග දුරකතනයෙන් කථාකල බවත් එය පෙර පුහුණුවක් බව සඳහන් කරමින් සීරියස් කේස් එකක්. උඹගේ කොල්ලෝ දාලත් හොයපන්යැයි සඳහන් කළමුත් 21 වෙනිදා ප්‍රහාරය ගැන   විදේශයකින් ලද අනතුරු ඇගයීම් තොරතුර සම්බන්ධව තමන්ව දැනුවත් නොකළ බවද ඔහු පැවැසීය. එම තොරතුර ගැන තමාව දැනුවත් නොකලේ ඇයි දැයි තමාට අදටත් ගැටලුවක් පවතින බවත් එවැනි තොරතුරක් කල් ඇතිව ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය එල්ලවීම ගැන දැනගත් විට තමා වික්ෂිප්ත වූ බවත් බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

එම තොරතුර ගැන තමාව දැනුවත් කලේ නම් දෙගොල්ලන්ම එකතුවී ප්‍රහාරය වලක්වා ගැනීමටත් පුපුරණ ද්‍රව්‍ය සමග ඒ සියළු දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණු බවත්  එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ පැවැසීය. 

මේක වගකීම් පැහැර හැරීමක්. අපි එකම රටක බුද්ධි අංශ දෙකක් වුනාට වැඩකළ යුතුව ඇත්තේ ජාතික ආරක්ෂාව වෙනු‍වෙන්යැයිද එම බුද්ධි නිලධාරියා සඳහන් කළේය. 

පාස්කු ප්‍රහාරයෙන් පසු දෙහිවලදී අන්තවාදී සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තේ තමා යටතේ සිටි නිලධාරීන් බවත් එම සැකකරු සම්බන්ධයෙන් එවකට සිටි ඇමතිවරයෙක් වන රිෂාඩ් බදියුදීන් එවකට සිටි යුද හමුදාපති මහේෂ් සේනානායකට ඇමතුමක් දී තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයා තමන්ව දැනුවත්කර ඔයාගේ කොටස දිගටම කරගෙන යන්නයැයි උපදෙස් දුන් බවත් එම බුද්ධි නිලධාරියා පැවැසීය. 

පාස්කු ප්‍රහාරය ගැන කල්තියා ලද තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිසි ඇගයීමකින් තොරව නිසි වටිනාකමක් දී නැති බැවින් එම තොරතුර වගකිවයුත්තන් අතට පත්වූ පසු නිසි අවධානයට යොමු නොවූ බවද බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ පැහැදිලි කළේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය නායකයාට ඝෘජුවම අමතා තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාට තිබුණු අවස්ථාව හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයාට නොතිබුණු බවත් එය අඩුපාඩුවක්  බවත් කොමිසම හමුවේ සදහන් විය. බුද්ධි නිලධාරීන් කටයුතු කිරීමේදී ඔවුන්ට නීතිමය ආවරණයක් නොමැති බව පෙන්වා දෙමින් බුද්ධි නිලධාරීන් නීති පද්ධතියකින් ආරක්ෂා වීමේ අවශ්‍යතාවද එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම බුද්ධි අංශ නිලධාරින්ට අවස්ථාවක් ලබා නොදුන් බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම් කිහිපයක්ම යුද හමුදාපතිවරයා විසින් කර තිබුණු බවත් සාක්ෂිකාර බුද්ධි නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version