සහරාන්ගේ නුවරඑළියේ කඳවුර ගැන සීඅයිඩිය කලින් සිට දැන ඉඳලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකයෙක් කියයි

සහරාන් තම කණ්ඩායමට අවි පුහුණුවක් ලබා දෙමින් නුවරඑළියේ පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බව පාස්කු ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවිය.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සහ වනාතවිල්ලුවේ ලැක්ටස් වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඒ බව හෙළිවූ බවකොමිසම හමුවේ හෙළි කළේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අධික්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්. වික්‍රමසේකර මහතා පාස්කු කොමිසම හමුවේ ඉකුත් 14 වෙනිදා රාත්‍රීයේ ලබා දුන් සාක්ෂියේදී සඳහන් කළේය.

ඔහුට අනුව නුවරඑළියේ පුහුණු කඳවුර සම්බන්ධයෙන් තොරතුරු හෙළි වන්නේ 2019 වසරේ පෙබරවාරියේදීය.


සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ටී 56 අවියක් ගලවා එය සවි කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී පුහුණුව ලබාදී ඇති අනාවරණය වූ බවද කොමිසම හමුවේ පොලිස් අධිකාරීවරයා සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන ඔස්සේ බුද්ධි අංශ පවා ඒ වන විට හෙළිකර නොගෙන සිටි සහරාන්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයින් කිහිප දෙනෙකුගේ නම් හෙළිවූ බවත් එම නම් හෙළිකර ගැනීමට සහරාන්ගේ බිරිදගේ සහෝදරයා වන අන්සාර්ගෙන් සහය ලැබී තිබුණු බවත් වික්‍රමසේකර මහතා අනාවරණය කළේය.

කොමිසම විසින් වික්‍රමසේකර මහතා කොමිසම හමුවට කැඳවා විශේෂ අවධානයක් යොමු කරමින් සාක්ෂි විමසුවේ වනාතවිල්ලුව සහ ලැක්ටොස් වත්තේ විමර්ශනවලට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන භාර කෙරුණු උප පොලිස් පරීක්ෂක ඩයස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහරාන්ගේ මස්සිනා වන අන්සාර් සහ සහරාන්ගේ පුහුණු කදවුරුවල අවි පුහුණුව ලබාදුන් බව අනාවරණය වන ආමි මොහිදින් නැමැත්තන් ඔත්තුකරුවන් ලෙස තබා ගැනීමක් සම්බන්ධයෙනි.

තම කණ්ඩායමේ ඉලක්කය වූයේ සහරාන් බවත් එම ඉලක්කය වෙත යාමේදී විවිධ උපක්‍රම භාවිත කිරීමට සිදුවන බවත් කොමිසම හමුවේ පොලීසියේ මෙහෙයුම් සම්බන්ධයෙන් මෙන්ම වරෙන්තු ක්‍රීයාත්මක කිරීමේදී අනුගමනය කරන උපක්‍රම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් වික්‍රමසේකර මහතා කළේය.

අනතුරුව ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන්ගේ මස්සිනා සහ ආමි මොහිදින් යන දෙදෙනාව අත්අඩංගුවට ගත් බවත් තවමත් ඒ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් කළ විමර්ශනවලින් ඔවුන් සිද්ධියට සම්බන්ධ බව සාක්ෂිමය කරුණු මෙතෙක් අනාවරණය වී නැති බවද වික්‍රමසේකර මහතා පැවැසීය.

Exit mobile version