සර්වපාක්ෂික අරගලකරුවන් සහ ජනපති අතර සාකච්ඡාවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සර්වපාක්ෂික අරගලකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා අරගලකරුවන්ට කළ ආරාධනාව සර්වපාක්ෂික අරගලකරුවන් විසින් පිළිගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ දී ඉදිරිපත් කළ ඉදිරි වැඩ සැලැස්ම තුළ තම සංවිධානය විසින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් කරන ලද යෝජනා සහිත විසි වැදෑරුම් යෝජනාවලියේ බොහෝ යෝජනා ඇතුළත් ව තීබීම සාධනීය ව සලකමින් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට තීරණය කළ බව සර්ව පාක්ෂික අරගලකරුවෝ ප්‍රකාශ කර සිටිති .

මෙම සාකච්ඡාවේ දී  ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානය වශයෙන් ඔවුන්, පෙර යෝජනාවලියට අමතර ව


1 ගෝඨාගෝගම ඇතුළු සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතික ව හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ හා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මර්දන ක්‍රියාවලිය නතර කිරීම.

2 සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ බව කියමින් හිතුමතයට විවිධ හේතු දක්වමින් සිදු කරන මර්දනය නවතා පොදුවේ අරගලකරුවන් ඇතුළු අරගලයට දායක වූ සියලු පිරිසට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම නවතාලීම.

3 අලුතින් නිර්මාණය කෙරෙන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවේ සීමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු සඳහා ඊට ගැළපෙන සහ ප්‍රාමාණික සුදුසුකම් ලත් මහජන නියෝජිතයන් පමණක් පත් කිරීම සහ ජනතා අප්‍රසාදයට සහ ප්‍රතික්ෂේප වීම්වලට ලක් වූ කිසිදු මහජන නියෝජිතයෙකුට එවැනි කිසිදු තනතුරක් ලබා නො දීම පිළිබඳ  යොජනා තුන ද ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම උක්ත සාකච්ඡාවට සහභාගි වීම හරහා ‘අරගළකරුවෝ’ සංවිධානය ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සංවිධානයක් වශයෙන් කිසිදු සූදානමක් නොමැති බව ද දන්වා ඇත.

එහෙත් සාමකාමී පොදුජන අරගලයේ ඉල්ලීම් ජනතාවට සහ රටට දිනා දීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස තමන්  කටයුතු කරන   බවට වන සලකුණු සටහන් කිරීමක් පමණක් මෙහි දී සිදු කෙරෙන බව ද  ඔවුන් අවධාරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ ම අරගළයේ මුල සිට ම තමන් විශ්වාස කළ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා රටට අවශ්‍ය වෙනස දිනා ගැනීම සඳහා මැදිහත් වන බව ද ‘සර්වපාක්ෂික අරගළකරුවෝ’ සංවිධානය අවසාන වශයෙන් දක්වා ඇත.

Exit mobile version