සරත් වීරසේකර පුස් වෙඩිල්ලක්… අනුර කුමාර  කියයි…

දිනසේන රතුගමගේ –

පොලීසිය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන  සරත් වීරසේකර අමාත්‍යවරයාට  යමක් කී විට ඔහු පොලීසිය යොදවා පුද්ගලයින් මර්දනය කරවීමට උත්සාහ කිරීමත්  විවිධ වචන භාවිත කරමින් පුද්ගලයින්ව බිය වද්දා තර්ජනය කරනු ලබන්නේත්  ඔහුට අමාත්‍යධුරයක් දැරීමට තරම් මේරූ බුද්ධියක් නොමැති නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වවුනියාවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රට පුරා පවත්වාගෙන යන කවුද දිණුම්සම්මන්ත්‍රණ මාලාවේ එක් පියවරක් වවුනියාවේ පැවති අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසිය.

පොලීසිය භාර සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නොමේරූභාවය ඔහු විසින් මේ දක්වා ගන්නා ලද තීරණ දෙස බලන විටත්  ඒවා අසාර්ථක වීම දෙසත් බලන විටත් ඉතා හොඳින් පෙනී යන බව කී අනුර කුමාර මන්ත්‍රීවරයා ඔහු තමන්ටද ජීව උණ්ඩ ඇති බව කියමින් තර්ජනය කොට බිය වැද්දීමට උත්සාහ කළත් ඒ සියල්ලම අසාර්ථක වීම නිසා  මේ වන විට  සරත් වීරසේකර අමාත්‍යවරයා පුස් වෙඩිල්ලක් බවද කියා සිටියේය.


මේ වන විට රට තුළ විශාල වශයෙන් පරිසර හානියක් සිදුවන අන්දම උදාහරණ සහිතව විස්තර කළ මන්ත්‍රීවරයා මේ සියල්ලම සිදු වන්නේ දේශපාලන හයියක් ඒවා කරගෙන යන පිරිසට ලැබී ඇති නිසා බවද සඳහන් කළේය.

මේ රටේ පරිසරයට සිදුව ඇති හානිය දෙස බලන විට කැළෑ කැපීම් වැලි පස් ගොඩ දැමීම් පමණක් නොව වාරි කර්මාන්තය විනාශ වීමට ඉඩ හැර සිටීම ජාතික අපරාධයක් බවද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අතීත රජ සමයේ මේ රටේ තිබූ වැව්  32000කින්  දැනට ඉතිරිව ඇත්තේ වැව් 14000 ක් පමණක් බවත් ඉන් සක්‍රීය වැව් දක්නට ඇත්තේ 2000 ක් පමණක් බවත්  කී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පරිසරය ආරක්ෂා කිරීමට පිහිටුවා තිබෙන පරිසර කමිටුවලට  රජයට සම්බන්ධ හිතවතුන් යොදා ගෙන ඔවුන් ලවා පරිසරය විනාශ කරන බවද පැවසිය.

රජය විසින් මේ රට තුළ පිහිටුවන ලද සියළුම කොමිෂන් වලට ඔවුන්ට හිතවත් පිරිස් යොදා ගැනීම නිසා  ඒ සියලුම කොමිෂන්වලින් සාධාරණයක් ඉටු නොවන තත්ත්වයකට පත්ව ඇති බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන්ට අනුව ශ්‍රී ලංකාවට විශාල වශයෙන්  බලපෑමක් ඇති වන බවත් විදේශීය ආක්‍රමණයක් පවතින නිසා  ඊට සහය දෙන ලෙසත් රජය හා තවත් පාර්ශ්ව මේ දිනවල ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

එවැනි බලපෑමක් හෝ විදේශ ආක්‍රමණයක් ශ්‍රී ලංකාවට ඇත්නම් ඊට මුලින්ම විරුද්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව කී ඔහු එවැනි සියලු දේ රජය හා රජයට සම්බන්ධ පිරිස් නිර්මාණය කරණු ලබන්නේ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට මිස ඇත්ත තත්ත්වයකින් නොවන බවද පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ සෑම රටකටම ඉතා සාධාරණවත් එක සමානවත් කටයුතු කරණ බවක් අතීතයේ සිට දක්නට නොලැබුනු බව සඳහන් කළ මන්ත්‍රීවරයා මේ අවස්ථාවේ ද ඔවුන් කටයුතු  කරණු ලබන්නේ ඔවුන්ගේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව බව ද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ වවුනියාව දිස්ත්‍රික් සංවිධායක උපාලි සමරසිංහ ද කතා කළහ.

Exit mobile version