සමරිසි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පවත්වාගෙන ගිය යෙදුමක් ඔස්සේ තරුණයන් ගෙන්වා ඔවුන් නිරුවත් කර පහර දී ලිංගික දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව කියමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ගත් සංවිධානාත්මක කල්ලියක් මිරිහාන මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම කල්ලියට හසු වූ නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන තරුණයකු විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයෙන් පසු මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා අන්තර්ජාලය ඔස්සේ සමරිසි පුද්ගලයන් සම්බන්ධ කරන යෙදුමකට සම්බන්ධවීමෙන් පසු මෙම කල්ලිය විසින් ඔහුව එම යෙදුම හරහා සම්බන්ධ කරගෙන ඔහු සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත.
පසුව ඔහුට දුන් ඇමතුමකට අනුව ඔහු සමරිසි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පිටකෝට්ටේ බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවෙසකට කැඳවා තිබේ. පසුව නිවෙසට ගිය එම තරුණයාට තිදෙනකුගෙන් යුත් පිරිසක් පහර දී ඔහු නිරුවත් කර ඔහු සමඟ ලිංගික ක්‍රියාවන් සිදුකර ඒවා වීඩියෝ ගතකර ඇත.
පසුව එම දර්ශන අන්තර්ජාලයට යොදන බවට ඔහුට තර්ජනය කර ඇති අතර එසේ නොකරන්නට නම් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා ඇත. කෙසේ වෙතත් එම මුදල රැගෙන එන බව පවසා මෙම තරුණයා ඔවුන්ගෙන් මිදී මිරිහාන පොලිසියට පැමිණ මේ බව පැමිණිලි කර තිබේ.
පසුව අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා මෙම තරුණයාට ලබාදෙන උපදෙස් මත ඔහු කප්පම්කරුවන්ට රුපියල් ලක්ෂය ලබාදීම සඳහා පිටකෝට්ටේ මංසන්ධියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. කප්පම්කරුවන් පිටකෝට්ටේ හන්දියට පැමිණි අවස්ථාවේදී පැමිණිලිකරුගේ මඟ පෙන්වීම මත නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔවුන් තිදෙනාගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී 10 දෙනකුට ආසන්න තරුණයන්ගේ නිරුවත් පින්තූර සොයාගෙන ඇති අතර එම තරුණයන් කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා විමර්ශනයක්ද අරඹා තිබේ. එක් සැකකරුවකුගේ පියාට අයත් දෙමහල් නිවෙසේ මොවුන් මෙම නිරුවත් දර්ශන ලබාගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යද සොයාගත් බව පොලිසිය කියයි. නුගේගොඩ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ජයමහ, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර, මිරිහාන වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති උප පරීක්ෂක ප්‍රභාත් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති. (කීර්ති මෙන්ඩිස් – මව්බිම)