පසුගියදා සපුගස්කන්ද කසළ ගොඩක ගමන් මල්ලක තිබූ බෑගයකින් හමුවූ මිය ගිය කාන්තාව සූදු ඔට්ටු ඇල්ලීම සහ භාණ්ඩ උගසට ගැනීම්වලට සම්බන්ධ වී සිට ඇති බව පොලිසියට අනාවරණය වී ඇත.
මෙම ගනුදෙනු සහ ඇයගේ මරණය අතර යම් සම්බන්ධයක් පවතින බව මූලික විමර්ශනවලදී හෙළි වි ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මේ වන විට පොලිසිය සැකකරුවන් හඳුනා ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම කාන්තාව පදිංචි මාලිගාවත්ත නිවසේ සිට ඇය රැගෙන ගිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සහ ඇගේ සොයුරා බව කියන පුද්ගලයකු මේ වන විට අතුරුදන් ව ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව කොළඹ ප්‍රදේශයේ පවතින බූරු පොළ කිහිපයකට සහ සූදු ඔට්ටු අල්ලන ස්ථානවලට යාමට පුරුදුව සිට ඇති බවත් එහි දී ඔට්ටු ඇල්ලීමට අමතර ව ඔට්ටුවලින් පරාජය වන පුද්ගලයන් උකසට තබන රන් ආභරණ, වාහන ආදිය උකසට තබා ඔට්ටුවලට අවශ්‍ය මුදල් සැපයීමේ ව්‍යාපාරයක ද නිරතව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.
ඇය පසුගිය 28 වැනිදා නිවසින් බැහැරට යන විට ද මුදල් සහ රන් ආභරණ රැගෙන ගොස් ඇති බව හෙළි වී ඇතත් මළ සිරු හමුවන අවස්ථාව වන විට එම මුදල් සහ රන් භාන්ඩ යමකු විසින් පැහැර ගෙන ඇති බවට පොලිසිය විශ්වාස කරයි.
මෙම මරණයට ඇය විසින් නිරත වූ මෙම ගනුදෙනු සම්බන්ධයක් පවතින්නේද යන්න පිළබඳව විමර්ශනය කරන පොලිසිය විශ්වාස කරන්නේ ඒ ඔස්සේ මේ සම්බන්ධ තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිවනු ඇති බවය.
මෙම කාන්තාව කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයක පදිංචි මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස් බවට ඇයගේ සැමියා සහ දරුවන් විසින් අද හඳුනා ගන්නා ලදී.
මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී රාගම රෝහලේ පැවත්වීමට නියමිත අතර සපුගස්කන්ද පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි