සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය 81 වැනි ජන්ම දිනය සමරයි

Dr.-P.-A.-Kiriwandeniya

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රජාමූල බහුජන සංවිධානය වන සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පසුගිය නොවැම්බර් 14 වැනිදා සිය 81 වැනි ජන්ම දිනය සැමරීය. සමූපකාර හා මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිය දැනුම හා පළපුරුද්ද මෙහෙයවූ කිරිවන්දෙණිය මහතා විවිධ දේශීය හා අන්තර්ජාතික ආයතන රැසක තනතුරු හොබවා තිබේ. ඒ අතර ජාත්‍යන්තර සමූපකාර සහ අන්‍යොන්‍ය රක්‍ෂණ සම්මේලනයේ සභාපති, ආසියානු ණය සමිති සම්මේලනය සභාපති (ACCU) මහජන බැංකුවේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ, ජාතික සමුපකාර කළමනාකරණ ආයතනයේ සභාපති සහ ජාතික සමුපකාර සභාවේ සභාපති යන තනතුරු සුවිශේෂ වේ. 1978 එවකට රජය හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමඟ ග්‍රාමීය අංශයේ කුඩා සමූපකාර සමිති 935ක් සම්බන්ධ කර ගනිමින් සණස ව්‍යාපාරය ඇරඹූ ආචාර්ය කිරිවන්දෙණිය මහතා ග්‍රාමීය ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීමට විශාල වැඩ කොටසක් සිදු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ දැක්ම සහ නායකත්ව ගුණාංග මතින් බිහි වූ ආයතන අතර සණස සංවර්ධන බැංකුව, සකසුරුවම් සහ ණය සමූපකාර සමිති සම්මේලනය, සණස අධ්‍යාපන මණ්ඩපය, සණස රක්ෂණ සමාගම්, සණස ඉංජිනේරු සහ සංවර්ධන සමාගම SEDCO, සණස පාරිභෝගික නිෂ්පාදක සන්ධානය (SANEEPA) ප්‍රධාන තැනක් ගනී. ග්‍රාමිය ජන ජීවිතය නගාසිටුවීම උදෙසා කිරිවන්දෙණිය මහතා හඳුන්වා දුන් නවතම ව්‍යාපෘතිය “වැය අඩු කරමු – අය වැඩි කරමු” නමින් මේ වන විට ක්‍රියාත්මක වේ. මේ හරහා තිරසාර පරිභෝජන අවස්ථා හා ව්‍යවසායකත්ව අවස්ථා හඳුන්වා දීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. සණස රක්‍ෂණ සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී, කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ ආරම්භක සභාපතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සර්ව ආගමික වතාවත් ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කර ඇත.

Exit mobile version