සජිත් එක්ක ගිය අයගෙන් රනිල්ට එරෙහි විශ්වාසභංගයක්..

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙක්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම්ටත් නීත්‍යානුකූල නොවන ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීම හා පක්ෂය දුර්වල කිරීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණණ අනුමැතිය ඇතිව සමගි ජන බලවේගය ගොඩනගා තිබෙන බැවින් එහි කිසිදු සාමාජිකයෙක් ඉවත් කිරීමට හෝ දඬුවම්කට යටත් කිරීමට එජාපයට බලයක් නැති අතර මෙවැනි ප්‍රචාර හමුවේ මුලා නොවී ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සියලු දෙනා කැප වී ක්‍රියා කළ යුතු බව එම රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරීී මණ්ඩල රැස්වීම පිටකෝට්ටේ විපක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද සවස 3.00 ට පමණ ආරම්භ කළේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 40 දෙනකුගෙන් සමන්විත වන අතර 38 දෙනෙක් අද පැවති රැස්වීම්ට සහභාගී වූහ. මංගල සමරවීර සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරු අත්‍යාවශ්‍ය කරුණක් නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්ට අද දිනයේ පැමිණීමට නොහැකි බව දැනුම් දී තිබේ.


රැස්වීම් ආරම්භ කර දීර්ඝ කරුණු දැක්වීමක නියැළුණු සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 69 දෙනෙකුගෙන් සමන්විත වූ බවත් ඉන් 40ක් සමගි ජන බලවේගය සමග එක්ව සිටින බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැඳවීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් හෝ හැකියාවක් නැති බවත් පෙන්වා දුන්නේය.

එවැනි පසු පසුබිමක් තුළ අපේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව ප්‍රකාශ කරමින් සිදු කර ඇත්තේ සුපුරුදු මාධ්‍ය සංදර්ශනයක් මෙන්ම අපව බය කිරීමට උත්සාහ කිරීමකි. මෙවැනි බියගුලූ ක්‍රියාවන් හමුවේ නොරැවටී ජයග්‍රහණය කරා යන ගමන ආපසු හැරවීමට ඉඩ නොතබා සියලු දෙනා එකාවන්ව සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළයුතු බව සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කර ඇත.

සමගි ජනබලවේගය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාදුන් බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත් අකුරෙන් තමා වෙත එවන ලද ලිපියකින් තහවුරු කර තිබෙන බැවින් කිසි ලෙසකින්වත් සමගි බලවේගය සමග එක්ව සිටින අයට එරෙහි විනය පියවර ගැනීමේ හැකියාවක් නැති බව සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.

මෙම කරුණු පදනම් කරගනිමින් වික්‍රමසිංහ මහතාට එරෙහිව නොපමාව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගත යුතු බවත් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට ගෙන යන ප්‍රචාර හමූවේ මුලා නොවී සිටින ලෙසත් සියලු සාමාජිකයින්ගේ ආරක්ෂාව සියයට සීයක්ම තමා බලාගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අනතුරුව නැගී සිටි රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ සමගි ජන බලවේගය පිහිටුවීම නීතිවිරෝධී ක්‍රියාවක් හෝ අපේ සාමාජිකත්වය අත්හිටුවන බවට හෝ මෙතෙක් කිසිදු ලිඛිත දැනුම්දීමක් කරන නොමැති බවයි. ඉතිහාසය පුරාවටම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම සිදු කළේ මෙවැනි මාධ්‍ය සන්දර්ශන දමමින් කටයුතු කිරීම බව පෙන්වාදුන් රංංජිත් මද්දුම බණ්ඩාර ලබන 1,2,3 දිනවල ලංකාවේම සිටින සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂකයින් කොළඹට කැඳවා තිබෙන බවත් එහිදී ඉදිරි මහ මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය අද කළ යුත්තේ රටේ ජන ජනතාව පීඩාවට පත්කරමින් ආණ්ඩුව ගෙනියන ඒකාධිපති පාලනයට එරෙහිව ගමන් කිරීම වුවත් ඔවුන් එය පසෙකලා ආණ්ඩුවට එරෙහිව සැබෑ හඬක් නගන සමගි ජන බලවේගය අඩපණ කරන බවත් එය පැහැදිලිවම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව කබීර් හෂීම් මෙහිදී පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුව හා රනිල් අතර ඩීල් එකක් තිබෙන බව පැහැදිලි යැයි ප්‍රකාශ කළ සරත් ෆොන්සේකා එය ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට එක්විය යුතු බවට රවි කරුණානායක පසුගියදා ප්‍රකාශ කිරීම් තුළින් තහවුරු වන බව පැවසීය. සමගි ජනබලවේගයේ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය විවේචනය කරමින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තවත් කිහිප දෙනෙක් අදහස් පළ කළහ.

Exit mobile version