සංගිත පාඩමට එන්නේ නැතිව ගුරු නිවාසයේ නිදන් සිටි ගුරුවරිය එක්ක එන්න ගිය දරු පිරිසකට ඇය අමානුෂිකව පහර දීලා… එක් දැරියක් රෝහලේ!

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

කරන්දෙණිය, දිවිතුර වත්ත ද්‍රවිඩ පාසලේ හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් දෙලොස් දෙනෙකුට එම විදුහලේ ගුරුවරියක් පහර දී තිබෙන අතර එයින් දරුණු ලෙස පහර කෑමට ලක් වූ එක් සිසුවියක් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 

මෙම රෝහල් ගතකිරීමේ හා පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (11) ඇල්පිටිය පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත පොලිස් පරික්ෂණ ආරම්භ කල බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ පහර කෑමෙන් රෝහල් ගත කර ඇත්තේ දිවිතුරුවත්ත ද්‍රවිඩ පාසලේ 06 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන විදුනි සංජනා නැමැති එකොලොස් හැවිරිදි දැරියයි.

රෝහල් ගත කරන දැරියගේ පියා වන එම් මෝගන් මුරලි නැමැති අය විසින් ඇල්පිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 


දරුවන්ට ගහපු පාරවල් දරුවන්ගේ කකුල්වල, පිටුපස ප්‍රදේශයේ සහ පිටේ ඇතුළු ශරීරයේ විවිධ තැන්වල තිබෙන බවත් ඇතැම් පහරවල් පෙන්වීමට නොහැකි තැන්වලද තිබෙන බවත් එම් මෝගන් මුරලි නැමැති අය ප්‍රකාශ කළේය.

පාසැලේ සංගීත ගුරුවරිය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින ඇයගේ නිල නිවාසයේ විවේක ගනිමින් නිදාගෙන සිටිය දී හයවැනි ශ්‍රේණියේ දරුවන් 06 වන කාලපරිච්ජේදයේ දී ඔවුන්ට නියමිත සංගීත විෂයට ගුරුවරිය නොමැති වීම නිසා ඒ බව වෙනත් ගුරුවරියකට පවසා තිබේ. 

එම ගුරිවරියගේ උපදෙස් පරිදි සිසු සිසුවියන් සංගීත ගුරුවරියගේ නිල නිවාසයට ගොස් සංගීත පාඩම ගැන මතක් කර තිබෙන බව දරුවන් ප්‍රකාශ කරයි. එසේ කිරීම හේතුවෙන් ඊට උරණ වී සංගීත ගුරුවරිය උණ ලීයක් රැගෙන විත් දරුවන්ට අමානුෂිකව පහර දී තිබෙන බව පහර කෑමට ලක් වූ දරුවන්ගේ දෙමාපියන් විසින් ඇල්පිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

ඇල්පිටිය පොලිසියට ලැබුණ පැමිණිල්ල විභාග කිරීම සදහා සිකුරාදා (11) පොලිස් නිලධාරීන් දිවිතුරවත්ත පාසැලට ගොස් තිබෙන අතර දහවල් 12.30 වන තෙක් අදාල ගුරුවරිය නොපැමිණි බවත් සිය දරුවන්ට හා දෙමාපියන්ට එතෙක් කුසගින්නේ කාලය ගත කිරීමට සිදු වූ බවත් දෙමාපියන් කියයි. 

මෙසේ දරුණ ලෙස පහර කෑමට ලක් වූ දැරිය ශ්වසන අබාධිත තත්ත්වයෙන් පෙලීම හේතුවෙන් මීට පෙර දින 11 කට අධික කාලයක් රෝහල් ගත් වී ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත් එම ප්‍රතිකාර වලින් පසුව නැවත එදින පාසැල් පැමිණ තිබෙන බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් දිවිතුර වත්ත ද්‍රවිඩ පාසලේ ප්‍රකාශිකාවක් පැවසුවේ ඔය සිද්ධියට අදාලව අසනීප තත්ත්වයෙන් පසුවන දරුවෙක් රෝහල් ගත වී තිබෙන බවත් ඒ නිසා සිද්ධියට අදාල තොරුතුරු සම්බන්ධයෙන් පොලීසියෙන් විමසන ලෙසත්ය. මේ සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවද එම ප්‍රකාශිකාව වැඩි දුරටත් සදහන් කළාය.

ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක පුබුදු මල්වර ආරච්චිගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කීවේය.     

සිද්ධිය සම්බන්ධයෙන් මම දන්නේ නැහැ. මම දැනගත්තේ මාධ්‍යයෙන් ඇහුවට පස්සෙයි. මම හොයල බලන්නම්. දෙමාපියන්ට කියන්න මටත් පැමිණිල්ලක් කරන්න කියල, යනුවෙන් ප්‍රකාශ කළේය.

ඇල්පිටිය පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනියගෙන් කළ විමසුමක දී ඇය මෙසේ කීවාය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ සම්බන්ධව චෝදනා ලබා ඇති ගුරුවරියට කතාකල හැක්කේ ද්‍රවිඩ භාෂාව පමණයි. පැමිණිල්ල විභාග කරන්න ගියත් ඒ නිසා අපිට මොකුත් කරන්න බැරි වුණා. අපිත් අසරණ වුණා. ” ඇය කීවාය. 

 

Exit mobile version