ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

අගනුවර ප්‍රසිද්ධ නිමි ඇඳුම් ව්‍යාපාර ජාලයක්වන ෂේඩ්ස් ජාලයේ හිමිකරුවා වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතකයන් තරුණ යුවළක් බවට සැක කෙරෙන අතර ඔවුන් විදේශ ගත වීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගියද එයින් විදේශ ගත වී නොමැති බවට අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම යුවළ පැලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි බවට අනාවරණය වන අතර ඔවුන් ඊට පෙර කලුබෝවිල රෝහල ආසන්නයේ ඖෂධ හළකින් ඖෂධ සහ උපත් පාලන උපකරණ මිලදී ගෙන ඇති බවද හෙළිව ඇත.

ව්‍යාපාරිකයා අතුරුදන්වූ බව කියන 30 වැනිදා රාත්‍රියේ ෂේඩ්ස් ව්‍යාපාර හිමිකරු රොෂාන්ගේ ජංගම දුරකථනය සහ ඔහු සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිත කර මැලේසියාව හරහා ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ටිකට් පත් මිලදී ගෙන ඇති අතර ඔවුන් 31 වැනිදා අලුයම ගුවන් යානයක් ඒ සඳහා වෙන් කරවාගෙන ඇත.

මෙම යුවළ ඒ වනවිට ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවට පොලිසිය විශ්වාස කරන අතර රාත්‍රියේ ෂේඩ්ස් හිමිකරුවාට අයත් ටොයෝටා 121 වර්ගයේ මෝටර් රථයද රැගෙන පැලවත්ත නිවසින් පිටත්ව අධිවේගි මාර්ගය ඔස්සේ කටුනායක දෙසට පැමිණ ඇති බව අනාවරණය කරගෙන තිබේ.


මෙලෙස එන අතරතුර අධිවේගී මාර්ගයේදී මෙම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව නැවතී ඇති අතර ව්‍යාපාරික රොෂාන් ගේ ජංගම දුරකථනය භාවිත කර අධිවේගි මාර්ගයේ හදිසි දුරකථන ඇමතුමට කතා කොට සහය ඉල්ලා ඇත.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ ආපදා රථයක් පැමිණ වාහනය අධිවේගි මාර්ගයෙන් ඉවත් කර දී ඇත. කටුනායක පිටවීමෙන් පසුව ඔවුන් මෙම වාහනය ගරාජයකට ගෙන යාම සදහාද උපකාර ඉල්ලා ඇති අතර ඔවුන් ගේ සහය මත ගෙන්වා ගත් තවත් රථයකින් මෙය මීගමුව ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක් අසළට රැගෙන ගොස් තිබේ.

එහෙත් මේ වනවිට වේලාව අලුයම 1 පමණ වී ඇති අතර ගරාජය වසා තිබීම හේතුවෙන් එය අසළ ජෝෂප් ද සිල්වා මාවතේ පසෙක වාහනය දමා ඔවුන් කුලියට ගත් අපදා රථයෙන්ම යළි කටුනායක 18 කණුව ප්‍රදේශයට පැමිණ ඇත.
ඉන් අනතුරුව මෙම යුවළ කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වී එහි වෙළෙඳ සංකීර්ණයෙන්ම මිය ගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පත් යොදා ගනිමින් භාණ්ඩ ද මිල දී ගෙන ඇතත් ඔවුන් රටින් පිටව ගිය බවට තොරතුරු තහවුරු කර ගැනීමට නොහැකිව නැත.

ඒ අනුව ඔවුන් යළි කටුනායක ගුවන් තොටුපළින් පිටතට පැමිණි බවට විශ්වාස කෙරෙන අතර සැකකරුවන් සොයා මේ වනවිටත් විමර්ශන සිදුවෙමින් පවතින බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය ව්‍යාපාරික රොෂාන් වන්නිනායක ඉතා සුළුවෙන් සිය ව්‍යාපාර ආරම්භ කොට දැඩි පරිශ්‍රමයකින් සිය ව්‍යාපාර ජාලය ගොඩ නගා ඇති බව සඳහන් වන අතර ඔහු ප්‍රදේශයේ විහාරස්ථාන සහ පාසල්වලට උදව් කරමින් සරල ජීවිතයක් ගෙන ගිය පුද්ගලයකු බව පැවසෙයි.

Exit mobile version