ශානිට ආරක්ෂාව දෙන්නැයි පොලිස්පති කියයි… දේශබන්දු බෑ කියයි…

සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ලබා දුන්නිර්දේශයක්   අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර  ඇගයුම් වාර්තාවක් ලබාගැනීමෙන් පසු පාතාලයේ සහ ජාවාරම්කරුවන්ගෙන් ජීවිත තර්ජනයකට ලක් වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා විසින් ලබා දුන් නියෝගය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේ දී වැඩ තහනම්කර අත්අඩංගුවට ගත් ශානි අබේසේකර වෙත එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පොලිස් මූලස්ථානය වෙත  නිර්දේශයක් ලබා දී තිබේ.

මෙම නිර්දේශය ශානි අබේසේකර සම්බන්ධව කෙරෙමින් ඇති පරීක්ෂණ අතරින් යටපත්ව තිබී ඇත.


කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූ පසු මෙම විමර්ශන කඩිනම් කිරීමට ලබා දෙන උපදෙස්  අනුව ඉදිරි කටයුතු කරද්දී  ශානි අබේසේකරට  විශේෂ ආරක්ෂාවක්  සැපයීම සඳහා සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ලබා දුන් මෙම නිර්දේශය හමුවී ඇත.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඒ සම්බන්ධව ඇගයීමක් කිරීමට අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අදාල නිර්දේශ සහිත ලිපිගොනුව යොමු කර තිබේ.

අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උක්ත ඇගයීම කර ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබා දිය යුතුබවට වූ නිර්දේශය අනුමත කර ඇත

මේ වනවිට ශානි අබේසේකර පදිංචිවී ඉන්නේ බොරැල්ලේය. එබැවින් ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

ඊට ලිඛිත පිළිතුරක් යවමින්  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාට  දන්වා ඇත්තේ පොලිස්පති නිර්දේශය    තමා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට  දැනුම් දුන් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දෙනතුරු ශානි අබේසේකරට ආරක්ෂාව ලබා නොදෙන ලෙස ලේකම්වරයා තමන් වෙත දැන්වූ බැවින් එම උපදෙස් ලැබෙන තුරු ඔහුට ආරක්ෂාව ලබා නොදීමට  යෝජනා කරන බවය.

Exit mobile version