ශ්‍රී ලංකා ජනවාර්ගික ගැටලුව විසඳන්න ඉන්දියාව බැඳී ඉන්නවලු… එය ඉන්දියාවෙ වගකීමක්ලු

ඉන්දීය මහකොමසාරිස් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ අමතා   කියයි

Gopal-Baglay

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසදුමක් වශයෙන් ඉදිරිපත් වී තිබෙන 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තව දුරටත් ශක්තිමත් කොට ඒ ඔස්සේ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඉන්දියාව බැඳී සිටින බවත් එය ඉන්දියාවේ වගකීමක් බවත් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඊයේ (13) දා යාපනයේදි ප්‍රකාශ කොට තිබේ.

මහකොමසාරිස්වරයා මේ බව පැවසුවේ දෙමළ දේශපාලන පක්ෂ මන්ත්‍රීවරු සමග යාපනයේ කොකුවිල් ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවට සහභාගී වූ පිරිස අතර සිටි දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සාකච්ඡාවට සහභාගී වූ සියලුම දෙමළ දේශපාලනඥයින් පළාත් සභා ක්‍රමය අහෝසි නොකරන ලෙසත් පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින්ම පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් කළ යුතු බවට  ඉල්ලා සිටි බවත්ය.


නමුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පවසා සිටියේ තම පක්ෂය  13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින්ම පමණක් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් සෙවීම පිළිබඳව එකඟ නොවන බව ඉන්දීය මහ කොමසාරිස්වරයාට පැවසූ බවයි.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය විරුද්ධ නොවන නමුත් එහි අන්තර්ගත  බලය හා වගකීම් මත දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොහැකි නිසා ඊට බොහෝ සංශෝධන ඉදිරිපත් විය යුතු බව තම පක්ෂයේ අපේක්ෂාව බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජනතාව  ඉන්දියාවේ ආරක්ෂක ක්‍රමවේදයන් සඳහා කිසිවිටකත් පලිහක් කර නොගන්නා ලෙසද ශ්‍රී ලංකාවේ ඊසාන දිග කොටස ඉන්දියානුවන්ට ලබා ගැනීමට යන උත්සාහයේදී ඊට එරෙහිව ගෝලීයකරණ දේශපාලනයේදී උද්ගත වන ගැටලුවලදී දෙමළ ජනතාව පීඩාවට පත් නොවිය යුතු බවද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සැබෑ තත්තවය  ඉතා හොඳින් දන්නා නිසා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ මෙවර සැසිවාරයේදී දෙමළ ජනතාව ඉල්ලා සිටින ජාත්‍යන්තර පරීක්ෂණ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබා දීම ඉන්දියාවේ වගකීම බවත් ඔහු මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයාට වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Exit mobile version